මිසර දෙවියන් ලෝකය මැවීමේ කතාව

මීට වසර දසදහසකට පමණ පෙර අතීතයේදී , ලෝකයේ ශ්‍රේෂ්ඨ රජවරු නයිල් නිම්නයේ අධිරාජ්‍යයක් තැනීමටත් පෙර, දෙවිවරුන් පොලොව මතට එන්නටත් පෙර,මේ විශ්වයේ කිසිවෙකුත් නොමැති කාලයක මෙහි පැවතියේ මහා අන්ධකාරයකි. ඒ අන්ධකාරය තුල " නුන් " යන මහා ශූන්‍යත්වයේ සාගරය පැවති අතර එහි ලෝකයේ ප්‍රථම ආදීතම දෙවිවරු වැඩ සිටියහ. ඒ දෙවිවරු වූයේ අවසානයක් නොමැති මහා සාගරයේ දෙවියන් සහ දෙවගනන්වූ, “නුන්” සහ “නුනට්”සහ මහා අවකාශයේ දෙවි යුවළ වූ “හෙහු” සහ “හෙහුට්”සහ අන්ධකාරයේ දෙවියා සහ දෙවඟන වූ “කෙක්” සහ “කෙකෙට්” සහ විශ්‍රාමයේ දෙවි යුවළ වූ “අමුන්” සහ “අමුනෙට්” ය.මේ ආදීතම දෙවිවරු අටදෙනා විසින් විශ්වයේ නිර්මාපකයා අඩංගු බිත්තරය ආරක්ෂා කරමින් ශුන්‍යතාවයේ මහා සාගරවල පිහිනමින් සිටියහ.

රේ දෙවියන්ගේ උපත

එක් දිනක එක්වරම ඒ බිත්තරය පුපුරා ගියේය. එය තුළින්, අවසානයක් නැති අන්ධකාරයත් පරදවා ගෙන වඩා ඉහළට ගොස් පිපුණේ නිල් පැහැති නෙළුමකි.. ඒ තුළ මහ දෙවි “රා” නිදා සිටි අතර නෙළුමේ පෙති එකිනෙක දිග හැරෙන විට මුළු විශ්වයේම අන්ධකාරය වහා නැති කරමින් රන්වන් පැහැ ආලෝකයක් පැතිරුණි. මහා හඬක් නිකුත් කරමින් රන් පැහැ ගිනි ජාලාවක් මැද විශ්වයේ නිර්මාපක මහා හිරු දෙවි ‘රා’ නැගී සිටියේය. එවිටම ලෝකයට නිකුත් වූ ඒ පළමු හඬෙන් අයිබිස් නම් කොක් පක්ෂියෙකුගේ හිසක් සහිත “තොත්” නම් ප්‍රඥාවේ දෙවියා තමා විසින් තමාවම නිර්මාණය කරගත්තේය.

ලෝකය මැවීම

රා’ විසින් අවිනිශ්චිතත්වයේ සහ නිමක නොමැති මහා සාගරය මැද භූමියක් නිර්මාණය කළේය. එම භූමියේ සිට අවට සිසාරා බැලූ ඔහුට තමා තනිව සිටින බව වැටහුණේය.ඉතින් ඔහුට තනිව සිටීම අපහසුයි. ඔහු ගෙන ආ ආලෝකයෙන් ද පලක් නොමැත. ඉතින් ඔහුට ලෝකයේ ජීවය නිර්මාණය කිරීමට නම් එය ආදී දෙවිවරු අට දෙනා සමගින් කල යුතු වේ.එහෙත් එම අවස්ථාවේ ආදි දෙවිවරුන් අටදෙනා ව්‍යාකූලත්වයට පත් වී සිටියහ. ඔහු ඒ දෙවිවරු ව්‍යාකූලත්වයෙන් මුදවා සංසුන්බවට පත්කළේය. එම සංසුන්භාවය නිසා ලෝකය බිහිවුණා. රා විසින් ප්‍රඥාවේ බලයෙන් සිදුකළ මෙම ක්‍රියාවලීන් අතරේ තවත් දෙවි කෙනෙක් බිහිවුණා. එනම් ලෝකය සහ ජීවීන් මවන,මැවීමට සහ කලාවට අධිපති ප්ඨා දෙවියන්ය.

ෂූ,ටෙෆ්නුට් සහ හැතෝර්

අලුත් ලෝකය මත පළමුවෙන් බිහිවුණේ නීතියේ, සත්‍යයේ, සහ ද්විත්ව ස්වභාවයේ මහා දෙවඟන වූ “මාත්”. සෑම ශක්තියකම ද්විත්ව ස්වරූපය (හොද සහ නරක) විශ්වයේ මූලිකම නීතිය වූ නිසා ‘මාත්’ පළමුව නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය විය. පසුව ඇය ප්‍රඥාවේ දෙවි ‘තොත්’ තම භාර්යාව කරගත් නිසා ‘රා’ නැවතත් තනිවුණා.

දෙවනුව ‘රා’ විසින් තම සෙවනැල්ල සමඟ සංවාසය කර, ඉන් අනතුරුව කෙළ පිඬක් ගැසීමෙන් වායුවේ දෙවියා වූ “ෂු” සහ තෙතමනයේ දෙවඟන වූ “ටෙෆ්නුට්” බිහිකරනු ලැබුවා. නමුත් ඔවුන් දෙදෙනා අන්ධකාරයේ මහා සාගරයේ ඈතට ගමන් කළ නිසා ඔහු විසින් මැවූ භූමියේ ‘රා’ නැවතත් තනිවිය. තනිකමෙන් විඩාවට පත් රා තමාගේම ඇස ගලවා, එය තම ශක්තියෙන් පිරවූයේය. ඔහු මෙම ඇස තම දියණිය ලෙස සලකා ඇය “හැතෝර්” ලෙස නම්කළා.එවිට හැතෝර්ට රා විසින් අණක් දෙනු ලැබිය. ඒ අණ වූයේ මහා අන්ධකාර සාගරයේ ඈතට ඇදී ගිය ෂු සහ ටෙෆ්නුට් සොයා ගෙන ඒමටයි. රා දෙවිගේ දරුවන් සොයා සාගරය මතින් ඉගිල ගිය හැතෝර්ගේ ආලෝකය සියළු අන්ධකාරයන් පසාරු කළා. ෂු සහ ටෙෆ්නුට් ඉක්මනින්ම සොයාගනු ලැබූ අතර ඔවුන්ව රා වෙත ඉදිරිපත් කෙරුණා. හැතෝර්ගේ සේවයට ත්‍යාගයක් ලෙස ඈව “යූරියස්” නම් ශ්‍රේෂ්ඨ සර්පයාගේ රූපාකාරයට පත්කරන රා, එය තම බැම මත පැළඳගත්තා. අනාගතයේ දී සියළු දෙවිවරුන් සහ මිනිසුන් ඇයට බිය වනු ඇති; රා ගේ සතුරන්ට ද වඩා බලයක් ඇයට හිමිවෙනු ඇති. රාගේ වචනය විශ්වයේ නීතිය විය.

නුට් සහ ගෙබ්

නැවත පැමිණි ෂු සහ ටෙෆ්නුට් එකිනෙකාට ආලය කරමින් සිටි අතර මේ සම්බන්ධය නිසා ටෙෆ්නුට් ගැබ්ගෙන නිවුන් දරුවන් බිහි කළේය. ඒ දරුවන් වූයේ “ගෙබ්”, එනම් ධරණීතලයේ දෙවියා, සහ “නුට්”, එනම් ආකාශයේ දෙවගනය. නුට් ට ප්‍රියකළ මහ දෙවි රා ඇයව විවාහ කරගත්තත්, ඇගේ කැමැත්ත තිබුණේ ඇගේ සොයුරා වූ භූමියේ දෙවි ගෙබ්ටයි. එනිසා ආකාශය භූමිය දෙසටම ආකර්ෂණය වී පැවතුණු අතර,

ඔවුන්ගේ ආලය විශ්වයේ මහා වියවුලක් ඇතිකළා!

රා විසින් ඇතිකරන ලද සන්සුන්බව නැතිව ගියා!

මේ කිසිත් නොදන්නා රා දිනක් හදිසියේ පැමිණියේ මොවුන් දෙදෙනා මෙලෙස පෙමින් වෙලී සිටි අවස්ථාවකයි. 

නුට් ඔහුට වංචා කරලා!

ඉතින් ගෙබ් සහ නුට් වෙන්කළ යුතු වුණා!

රා විසින් ආකාශය පොළවෙන් ඉහළට තල්ලු කළා. ඔවුන් දෙදෙනා නැවත කිසිදා හමු නොවිය යුතුයි. ඔවුන් හමු නොවන බවට වගබලාගැනීමට වායුවේ දෙවි ෂු පත්කරනු ලැබුවා.

රා ගේ ශාපය

මේ වන විට මෙම සම්බන්ධය නිසා නුට් ගැබ්ගෙන සිටියේය. රා තම බිරිය පිළිබඳව පසුවුණේ මහත් වෛරයකින්. ඔහු ඇයට ශාපයක් කළේය.

"වසරින් වසර ගත වුණත්, කිසිම මාසයක, කිසිම දිනෙක නුට් විසින් තම දරුවන්ට උපත ලබා නොදෙනු ඇති! ඈ ගැබ්ගෙනම සිටියාවේ. ඇගේ දරුවන් කිසිම දිනෙක ආලෝකය නොදැක්කාවේ."

මහා දෙවි රාගේ වචනය අවසන් තීරණය වූයේය.

නුට් මහත් වේදනාවට පත්වුණාය. දැන් ඈට ඇගේ පෙම්වතා පමණක් නොව දරුවන් ද අහිමි වී ගිහින්. ඇගේ වේදනාව කොතරම් බලවත් වුණාද යත්, ප්‍රඥාවේ දෙවි තොත් එහි ගෙන්වීමට එය සමත් විය. ඇගේ කඳුළු පිස දැමූ තොත් මෙයට පිළියමක් කල්පනා කළේය. විශ්වයේ නීතිය වන රා ගේ වචනය වෙනස් කළ නොහැකියි, ප්‍රඥාවේ දෙවියා දැන සිටියේය. එම නිසා ප්‍රඥාවේ දෙවියාට වුවත් නුට්ට සහනයක් අත්කර දිය හැක්කේ ප්‍රයෝගයකින් පමණයි. හිරු දෙවි ප්‍රයෝගයකින් පරාජය කිරීම කළ නොහැක්කක්. ඉතින් ඔහු එකල හිරු තරමටම දීප්තියක් විහිදවූ ආදිතම දෙවියෙකු වූ අමුන් පුත්,චන්ද්‍ර දෙවි ඛොන්සු ට සූදු ක්‍රීඩාවකට අභියෝග කළා.

වසරේ නව දින

'රා’ගේ ශාපය නිසා නුට්ගේ දරුවන් කිසිම වසරකට අයත්, කිසිම මසක, කිසිම දිනයක දී බිහිවිය නොහැකියි. එමෙන්ම මහ දෙවි රා ගේ වචනය නීතිය විය. ඔහුව ‍රැවටීම කිසිසේත් කළ නොහැක්කක්. එනිසා මෙය විසඳීම පිළිබඳව සිත යෙදූ ‘තොත්’ එකල හිරු දෙවි හා තරගයට ආලෝකය විහිදවූ සඳ දෙවි ‘ ඛොන්සු ’ට සූදු ක්‍රීඩාවකට අභියෝග කළා. වසරේ එක් දිනකට තම ආලෝකයෙන් දාහතෙන් පංගුවක් බැගින් ඔට්‍ටු ඇල්ලීමට ඔහුව පොළඹවාගත් තොත්, පහසුවෙන්ම ඔහු ක්‍රීඩාවෙන් පරදවා ඔට්‍ටු ඇල්ලූ ආලෝකය දිනාගැනීමට සමත්විය. එතැන් පටත් චන්ද්‍ර දෙවියෙකු වූ තොත් මෙම දිනාගත් ආලෝකය මගින් අලුතෙන් දින 5ක් නිර්මාණය කලේය. එම දින පහ එකල දින 360ක් වූ වසරේ අගට එක්කොට, දින 365ක් බවට පත්කරනු ලැබුවේය.

නුට්ගේ දරුවන්

නුට් මත පිහිටවූ රේ දෙවිගේ ශාපය වූයේ කිසිම වසරක, කිසිම දිනෙක ඈ විසින් උත්පත්තිය ලබා නොදිය යුතු බවයි. නමුත් තොත් විසින් නිර්මාණය කළ නව දිනයන් 5 කිසිම වසරකට හෝ මසකට අයත් නොවූ නිසා, නුට්ගේ දරුවන් බිහිකිරීමට උචිත විය.

පළමු දිනයේ ඈ මරණයේ, මරණින් මතු ජීවිතයේ, සහ මරණයෙන් නැගිටීමේ දෙවි “ඔසිරිස් ” බිහිකළා.
දෙවනි දිනයේ යුද්ධයේ සහ අන්ධකාරයේ දෙවි “සෙට්” ද, තෙවන දිනයේ දී ආලයේ, මායාවේ, සහ ප්‍රඥාවේ දෙවඟන වූ “අයිසිස්” ද බිහිවුණා. ඔසිරිස් විසින් අයිසිස් තම බිරිය බවට පත්කරගත් අතර අන්තිම දිනයේදී බිහිවුණේ අයිසිස් සොයුරි “නෙෆ්තිස්”. සෙට් විසින් ඈ තම බිරිඳ බවට පත්කර ගත්තේය. අන්ධකාරයේ දෙවියා සමඟ විවාහ වුවත් නෙෆ්තිස් ගේ විශ්වාසවන්තබව ‍රැඳී තිබුණේ අයිසිස් සමඟයි.

එන්නෙයිඩ් සහ අනෙකුත් දෙවියන්

ඔය ආකාරයෙන් ඒ ප්‍රභාවත් දෙවිඳුන් පස්දෙනා බිහිවීම නිසා “අනු” නම් දෙව්ලොවේ වාසය කළ මහ දෙවිවරුන්ගේ ගණන නවයක් දක්වා ඉහළ නැගුණි. මහ දෙවි රා, ෂු, ටෙෆ්නුට්, ගෙබ්, නුට්, ඔසිරිස් අයිසිස්, සෙට්, නෙෆ්තිස් වන මේ නවදෙනා “එන්නෙයිඩ්” නමින් හැඳින්වුණා. මහා දෙවිවරු නවය සම්පූර්ණ වීමෙන් පසු ‘රා’ විසින් තවත් බොහොමයක් දෙවිවරු නිර්මාණය කර ඔවුන්ගෙන් ආකාශය පුරවා දැමුවේය. අන්ධකාර පාතාලය පිරවීමට යක්ෂයින් සහ පහත් දෙවිවරුන් නිර්මාණය කළේය.

මිනිසුන් සහ සතුන්

අවසානයේ දී නිර්මාණය කරනු ලැබුවේ මිනිසා සහ පෘථිවිය මත වූ අනෙකුත් ජීවීනුයි. මහ බලධාරී “ඛුණම්” (සමහර තැන් වල රා ද ඛුණම්ගේ දරුවෙකි.) ඔහුගේ කුඹල්සක මත මැටියෙන් සහ ජලයෙන් මිනිසා සහ අනෙකුත් සතුන් නිර්මාණය කළායින් අනතුරුව රා විසින් ඒවාට ජීවය පිම්බේය. මිනිසුන්ට ජීවත් වීමට බිමක් අවැසියි. ඉතින් ඔවුන් වෙනුවෙන් “ඛෙමෙට්” රාජධානිය, එනම් ඊජිතුව නිර්මාණය කෙරුණාහ. රා විසින් ඊජිප්තුව වටා කාන්තාර නිර්මාණය කර එහි ආරක්ෂාව තහවුරු කළහ. ඉන්පසු ඔහු විසින් නයිල් නදිය නිර්මාණය කළේ එය පිටාර යෑමෙන් ඊජිප්තුවේ කෙත් සරුසාර වීමටයි. මේ සියල්ල නිර්මාණය කළ රා විසින් අවසානයේ ඊජිප්තුවේ පාලනය ඔසිරිස් හට පවරා පෙරලා “අනු” වෙත පිටත්වුණා. ඊජිප්තුවේ පළමු පාරාවෝ බවට පත්වුණේ ඒ මහා දෙවි ඔසිරිස්ය.

""ඔසිරිස්ගේ මිත්‍යාව""

කුමණ්ත්‍රණය

ඔසිරිස් ඊජිප්තුවේ සිට තම බිරිය වන අයිසිස් ගේ ද සහාය ඇතිව මුළු මහත් ලෝකයම ඉතාමත් සාර්ථකව සහ කාර්යක්ෂමව පාලනය කළේය. නමුත් සියළු දේ සන්සුන්ව සිදුවෙමින් පැවති මේ අවධියේ මහත් නපුරක් ක්‍රියාත්මක වෙමින් පැවතුනි. ඔසිරිස් ගේ සොහොයුරු වන අන්ධකාරයේ දෙවි සෙට් ගේ සිතෙහි ඔසිරිස් ගැන ඊර්ෂ්‍යාවක් ඇතිව තිබුණි. තමා හට රජ කම නොදී රා විසින් ඔසිරිස් හට රජකම ලබා දුන් නිසා සෙට් රා හට එරෙහිව කුමණ්ත්‍රණයක් කලේය.

ඇපෙප්

එහෙත් සෙත් ට හිරු දෙවි රේ විනාශ කිරීමට තරම් ශක්තියක් නැත. ඒ තරමට රේ බලගතුය.එහෙත් රේ ගේ බලය පවතින්නේ දහවල් කාලයේ පමණි. සවස් වූ විය වයසට යන රේ අටුම් ලෙස වෙනස් වෙයි. රේ හට උකුසු හිසක් තිබුනද අටුම් හට ඇත්තේ මිනිස් හිසකි.ඔහුගේ සැලසුමට අනුව ඔහු අටුම් පරාජය කිරීමට ඉතා බලගතු නාගයෙකු නිර්මාණය කරන ලදි. ඒ නාගයා නම් ඇපෙප් ය.

සවස් කාලයේ පාතාල ලෝකයට පිවිසෙන අටුම් සූර්ය යාත්‍රාවේ නැග මීලග දිනයට පායා ඒමට පාතාල ලෝකය හරහා ගමන් කරයි. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සෙත් ඇපෙප් නාගයා පාතාල ලෝකයට යවයි.අටුම් හට එහිදී මේ ඇපෙප් නාගයා හමු වේ. සූර්ය යාත්‍රාවේ ආරක්ෂක වෙප්වවෙට් විසින් සහ අටුම් විසින් මේ නාගයා සමග යුද්ධ කරයි. එහෙත් ඔවුන් දැන සිටියේ නැහැ මොහු ඔවුන්ට වඩා බලවත් බව.අටුම් හට ඉදිරියට යාමට අවශ්‍ය වන්නේ ය. එහෙත් ඔවුන්ට ඇපෙප් ගෙන් බේරීමට නොහැක. ඇපෙප් නාගයා විසින් සූර්යයා ගිල ගන්නා විට සූර්ය ග්‍රහණ ඇති විය. මෙයින් බේරීමට අටුම් නව දෙවියෙකු නිර්මාණය කරන ලදී. ඒ බලලෙකුය.(පූසෙක්)

නමින් බැස්ටේට් නම් මේ දෙවගන විසින් ඇපෙප් නාගයාව කීතු කීතු කරන ලදී. පූසන්ට අධිපති මේ දෙවගනගේ මුල් සැමියා වූයේ අටුම්ය.නැවත සූර්ය යාත්‍රාවෙන් ගමන් ගන්නා අටුම් හිමිදිරියේ ඛෙප්රි ලෙස වෙනස් වී සූර්යයා අහසට ගෙන යයි.මිසර වැසියන්ගේ විශ්වාසය අනුව මෙය සෑම දිනකම සිදු වේ.

ඔසිරිස් මිත්‍යාව

" ඔසිරිස් මිහිමතින් නෙරපා හැරිය යුතුයි!"

එනිසා ඔහු විසින් ඔසිරිස් ගේ සිරුරේ ප්‍රමාණයටම ගැලපෙන ලෙස රනින් රිදියෙන් පෙට්ටියක් නිර්මාණය කළේය. ඉන්පසු ඔහු විසින් සිදුකළේ උත්කර්ශවත් භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඔසිරිස් ටත් තවත් හැත්තෑ දෙදෙනෙකුටත් ආරාධනා කිරීමයි. උත්සවය අවසානයේ දී ඔහු විසින් නිවේදනය කළේ ඔහු විසින් නිර්මාණය කරන ලද ඉතාම අලංකාරවත් මෙම පෙට්ටිය, එහි ප්‍රමාණයට වඩාත්ම ගැලපෙන සිරුර ඇති තැනැත්තාට තෑගි කරනු ලබන බවයි. ඒ අනුව පැමිණ සිටි පිරිස් අතර සිටි ඔසිරිස් ද පෙට්ටියට බැස තමාගේ සිරුර එහි බහාලිය හැකිදැයි පරීක්ෂා කරන අතරේ සෙට් විසින් එහි පියන වසා ඇණ ගසා, ඔසිරිස් ද සමඟම එය නයිල් ගඟට විසිකරනු ලැබුවා.


තමාගේ සැමියාව මරාදමනු ලැබූ බවට අයිසිස් ට දැනුම් දෙනු ලැබූවත් ඈ විසින් එය විශ්වාස කළේ නැත. නයිල් නදිය දිගේ පහතට ගිය ඇයට බැබිලෝස් හි ගසක කඳක් තුළ සිරව තිබූ මිනී පෙට්ටිය සොයාගැනීමට හැකිවුණි. ඔසිරිස් ගේ සිරුර නැවත ඊජිප්තුවට ‍රැගෙන ආ ඇය ඔසිරිස් ට නැවත ප්‍රාණය ලබාදීමට අවශ්‍ය ඖෂධ සොයා ඒමට ගියේ ඔහුගේ සිරුර සඟවා එහි ආරක්ෂාවට සෙට් ගේ බිරිඳ ද තම සොයුරිය ද වන නෙෆ්තිස් රඳවා තබමිනුයි. මේ අතරේ අයිසිස් විසින් ඔසිරිස් ගේ සිරුර සොයාගෙන එයට පණ දෙනු ඇතැයි බියෙන් පසු වූ සෙට් විසින් ඒ පිළිබඳව නෙෆ්තිස්ගෙන් ප්‍රශ්න කරනු ලබයි. ඈ පිළිතුරු දෙන ආකාරයෙන්ම ඈ ඒ පිළිබඳව යමක් දන්නා බවට අවබෝධ කරගන්නා ඔහු, ඇය මාර්ගයෙන් ඔසයිරිස්ගේ සිරුර සොයාගෙන එය කොටස් 14කට කඩා මුළු ඊජිප්තු භූමිය පුරාම විසුරුවා හරියි. අයිසිස්ට දැන් ඔසිරිස් හට පණ දෙනු බැහැ.

මරණින් මතු උපත

ඖෂධ සොයාගෙන නැවත පැමිණෙන අයිසිස්ට සිදුව ඇත්තේ කුමක්දැයි පැහැදිලියි. ඔසයිරිස්ගේ සිරුර තමන්ට ආරක්ෂා කරගැනීමට නොහැකි වූ පසුතැවිල්ලෙන් කම්පාවට පත්ව සිටි නෙෆ්තිස්ගේ උදව්වෙන් ඈ කරන්නේ තම සැමියාගේ සිරුරේ කොටස් සොයා මුළු ඊජිප්තුව පුරාම සැරිසැරීමයි. කෙසේ නමුත් ඔවුන්ට සොයාගැනීමට ලැබෙන්නේ ඔසිරිස් සිරුරෙන් කොටස් 13ක් පමණයි. ඔහුගේ එක් සිරුරු කොටසක් සොයාගැනීමට ලැබෙන්නේ නැත. ඉතින් ඔසිරිස් ගේ සිරුර සම්පූර්ණ කිරීම සඳහා අයිසිස් විසින් රනින් එම කොටස නිර්මාණය කරනු ලැබේ. කොටස් 14ම එලෙස සම්පූර්ණ වූ පසු ඇගේ පියාගෙන් ඈ උගත් මන්ත්‍රයක් භාවිතයෙන් ඔසිරිස් ගේ සිරුරට තාවකාලිකව පණ දෙති. ඔවුන්ගේ පුත්‍රයාට “හෝරස්” යැයි නම් තබනු ලබයි. ඔසයිරිස් ගේ සිරුර වළලා දැමුවත්, ඔහු හා අයිසිස් පිළිබඳව ගෞරවයෙන් සිටි අන් දෙවිවරුන් විසින් ඔසිරිස් ව මරණයෙන් උපදවා ඔහුව මරණයෙන් මතු දිවියට අධිපති දෙවිඳු ලෙස අභිෂේක කරනු ලබයි.

සාමය

සෙට් ගේ ආපදාවන්ට බියෙන් හෝරස් ව කුඩා කල සිටම සඟවා තබා පෝෂණය කළත්, වයසින් වැඩුණු පසු තම මාමන්ඩියට අභියෝග කරන ඔහු තම පියා වන ඔසිරිස් විසින් පාලනය කළ රාජධානිය තමා විසින් දිනාගැනීමට අදහස් කරයි. වසර 80ක් තිස්සේ සෙට් සමඟ යුද්ධ කිරීමෙන් අනතුරුව හෝරස් පලමුව පරාජය වෙන අතර. එහිදී හෝරස් නැති වේ. ඉන් පසුව සෙත් පරාජය කරන හෝරස් ඔහුව ශුෂ්ක කාන්තාර බිම් වලට ඔහුව පි‍ටුවහල් කර දමනු ලැබේ. අවසානයේදී තම මව අයිසිස්ගේ සහ නෙෆ්තිස්ගේ සහාය ඇතිව උඩ පහත ඊජිප්තුවටත්, ලෝකයටත් නැවතත් සන්සුන්භාවය ගෙන ඒමට ඔහු සමත්වෙයි. එතැන් පටන් මිසරයේ පාරාවෝ හෝරස් දෙවිගේ පවුලෙන් පැවත එති.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ