උතුරු–දකුණු රාජ්‍ය යුගය

උතුරු–දකුණු රාජ්‍ය යුගය (ක්‍රි.ව. 698–926) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු අර්ධද්වීපයේ දකුණේ සහ උතුරේ පිළිවෙලින් පසුකාලීන සිල්ලා සහ බල්හේ රාජධානි සමගාමීව පැවති කොරියානු ඉතිහාසයේ යුගයයි.[1][2]

උතුරු–දකුණු රාජ්‍ය යුගය
කොරියානු නම
හංගුල්남북국시대
හන්ජා南北國時代
ප්‍රතිශෝධිත රෝමානුකරණයNambukgukshidae
මැකූන්–‍රයිෂවර්Nampukkuksitae

පසුකාලීන සිල්ලා

එක්සත් කිරීමේ යුද්ධවලින් පසුව ටෑං රාජවංශය පැරණි ගොගුර්යෝ රාජ්‍යයට අයත් භූමිය අත්පත් කරගත් අතර, බෙක්ජේ රාජ්‍යයේ ද සිය ජනාවාස පිහිටුවමින් එම රාජ්‍යය ද පාලනය කිරී‍මට උත්සාහ ගත්තේ ය. 671දී සිල්ලා රාජ්‍යය විසින් බෙක්ජේ රා්‍යෙයේ දී සහ උතුරුදිග කොරියානු ප්‍රදේශයේ දී චීන හමුදා වෙත ප්‍රහාර එල්ල කරන ලදී.

අනතුරුව 674දී ටෑං රාජවංශය විසින් සිල්ලාව ආක්‍රමණය කරන ලදී. නමුත් උතුරුදිගින් ටෑං හමුදා පරාජය කිරීමට සිල්ලා රාජ්‍යය සමත් විය. 676දී ටෑං හමුදා අර්ධද්වීපයේ පලවා හැරි සිල්ලා රාජධානිය තුන් රාජධානිවලින් බොහෝමයක් ප්‍රදේශ එක්සත් කිරීමට සමත් විය.

පසුකාලීන සිල්ලා සමයේ කලාව සහ සංස්කෘතියට ස්වර්ණමය යුගයක් උදා විය.[3][4][5][6] බුදු දහම සිල්ලා සංස්කෘතියේ ප්‍රධාන අංගයක් බවට පත් විය.දියුණු කොරියානු ගෘහ නිර්මාණ ශිල්පය සහ බෞද්ධ ආභාසය අතර සම්බන්ධතාව පෙන්වීමට බුල්ගුක්සා වැනි බෞද්ධ විහාර නිදසුන් වශයෙන් දැක්විය හැක. මෙකල රාජ්‍ය අනුග්‍රහය ලත් ගෘහ නිර්මාණ අංග ලෙස හ්වංන්‍යොංසා විහාරය, බුන්හ්වංසා විහාරය සහ ලෝක උරුම අඩවියක් වන සොක්ගුරාම් ලෙන් හැඳින්විය හැක.

පසුකාලීන සිල්ලාව, මධ්‍යකාලීන නැගෙනිහර ආසියාවේ ෆීනීෂියාව බඳුවූ බෙක්ජේ රාජ්‍යයේ සමුද්‍රීය අධිකාරය තමන් සතු කරගත්තේ ය.[7] 8වන සහ 9වන සියවස්වල දී නැගෙනහිර ආසියානු මුහුදුවල සහ චීනය, කොරියාව සහ ජපානය අතර වෙළඳාමේ ප්‍රමුඛත්වය හිමි කරගැනීමට සිල්ලාව සමත් විය. මෙය විශේෂයෙන්ම ජං බොගෝගේ සමයේ සිදු විය. මීට අමතරව සිල්ලා ජනයා චීනයේ ෂැන්ඩොං අර්ධද්වීපයේ සහ යැංසි ගංගා මුවදොර වැනි විදෙස් ප්‍රදේශවල ද සිය ජනවාස පිහිටුවූහ.[8][9][10][11] පසුකාලීන සිල්ලාව සමෘද්ධිමත් සහ ධනවත් දේශයක් වූ අතර,[12] එහි ජනාකීර්ණ අගනුවර වූ ග්යොංජු[13] එකල ලොව සිව්වන විශාලතම නගරය විය.[14] [15][16][17]

මෙකල බුදු දහම දියුණුවට පත් විය. බොහෝ කොරියානු බෞද්ධයෝ චීන බෞද්ධයින් අතර ගෞරවාදරයට පාත්‍ර වූහ.[18] ඔවුහු චීන බුදු දහම නගා සිටුවීමට කටයුතු කළහ.[19] එවැනි වැදගත් පුද්ගලයින් අතරට වොන්ච්‍යුක්, වොන්හ්යෝ, උයිසං, මුසං,[20][21][22][23] සහ කිම් ග්යෝ-ගක් වැන්නවුන් අයත් විය. සිල්ලා කුමරකු වූ කිම් ග්යෝ-ගක්ගේ බලපෑම යටතේ ජියුහුවා කන්ද චීන බුදු දහමේ එන පූජනීය කඳු සතරෙන් එකක් ලෙස නම්කෙරිණි.[24][25][26][27][28]

9වන සියවස වන විට සිල්ලා රාජධානිය තුළ දේශපාලන අර්බුද පැන නගින්නට විය. අතිශයින් දුර්වල තත්ත්වයකට පත්ව තිබූ සිල්ලාවේ විසූ පැරණි බෙක්ජේ රාජ්‍යයට අයත් වැසියෝ පසුකාලීන බෙක්ජේ රාජ්‍යය පිහිටුවූහ. උතුරු දෙසින්, කැරලිකරුවන් විසින් ගොගුර්යෝ රාජධානිය යළි පිහිටුවමින් පසුකාලීන තුන් රාජධානි සමය ආරම්භ කරන ලදී.

පසුකාලීන සිල්ලා රාජ්‍යය තවත් වසර 267ක් පැවති අතර,ක්‍රි.ව. 935දී ග්යොංසුන් රජ සමයේ පසුකාලීන සිල්ලාව ගොර්යෝවට ඈඳාගන්නා ලදී.

බල්හේ

බල්හේ සහ සිල්ලාව ක්‍රි.ව. 830 දී.

බල්හේ රාජ්‍යය පිහිටුවන ලද්දේ ගොගුර්යෝ රාජධානිය බිඳවැටීමෙන් පසුවයි. බල්හේ යන නාමය “මොහේ” (靺鞨, මැංචූරියානු සහ සයිබ් වැනි භාෂාවක් කථාකළ තුන්ගුසීය ගෝත්‍රයක්) යන වදනෙහි එක් ස්වරූපයක් ලෙස සැලකේ. පැරණි ගොගුර්යෝවට අයත් භූමි භාගයේ උතුරු ප්‍රදේශවල මෙම රාජධානිය පිහිටුවන ලද්දේ ගොගුර්යෝවේ හිටපු සෙන්පතියකු වූ දේ ජෝයොං විසින් ටියෑන්මෙන්ලිංහි සටනින් ටෑං රාජවංශයේ මධ්‍යම රජයේ හමුදා පරාජය කිරීමෙන් පසුවයි. බල්හේ රාජ්‍යය විසින් ‍කොරියානු අර්ධද්වීපයේ උතුරු ප්‍රදේශ, මැංචූරියාවෙන් වැඩි ප්‍රමාණයක් සහ වර්තමාන රුසියානු වෙරළදිග ප්‍රදේශවල පාලනය ගෙන යන ලදී. බල්හේ රාජ්‍යය තමන්ව ආමන්ත්‍රණය කරගත්තේ ගොගුර්යෝවේ අනුප්‍රාප්තික රාජ්‍යයක් ලෙසයි.

සාපේක්ෂව සාමකාමී සහ ස්ථාවර සමයක බල්හේ රාජ්‍යය තුළ සංස්කෘතිය දියුණුවට පත් විය විශේෂයෙන්ම තෙවන රජු වූ මුන් රජුගේ (රාජ්‍ය. 737-793) දීර්ඝ රාජ්‍ය සමයේ සහ සොන් රජ සමයේ මෙය සිදු විය. මෙකල බල්හේ රාජධානිය සංස්කෘතික අතින් දියුණු රාජ්‍යයක් වූ බැවින් චීනය පවා මෙම රාජධානිය හැඳින්වූයේ "පෙරදිග වූ සමෘද්දිමත් දේශයක්" ලෙසයි.[29] කෙසේනමුත්, 10වන සියවස වනවිට බල්හේ රාජ්‍යය අතිශයින් දුර්වල තත්ත්වයට පත්වූ අතර, 926දී ඛිටන් ලියාඕ රාජවංශය විසින් බල්හේ යටත් කරගන්නා ලදී.

බල්හේහි භූමියේ ඇතැම් ප්‍රදේශ ගොර්යෝව විසින් යටපත් කරගත් අතර, බල්හේ සරණාගතයින් සිය රාජ්‍යයට ඇතුළත් කරගන්නා ලදී. බල්හේ කිරුළහිමි කුමරුන්ව පවා ගොර්යෝ රාජකීය පවුලට ඇතුළත් කරගන්නා ලදී. නමුත් බල්හේ පිළිබඳ කිසිදු ඓතිහාසික විස්තර සපයා නැත.‍ 18වන සියවසේ ජොසොන් රාජවංශයේ ඉතිහාසඥයකු වූ යු ද්‍යුක්ගොං විසින් බල්හේ පිළිබඳ නිසි අධ්‍යයනය කොරියානු ඉතිහාසයේම කොටසක් ලෙස සිදුකළ යුතු බව පෙන්වා දුන්නේ ය. ඔහු විසින් මෙම යුගයට "උතුරු-දකුණු රාජ්‍ය යුගය" යන නාමය ලබාදෙන ලදී.

භාෂාව

භාෂාමය සාක්ෂි මඳ හෙයින්, බල්හේ සහ සිල්ලා භාෂා අතර භාෂාමය සම්බන්ධතාව පිළිබඳ ස්ථිර නිගමනයකට ඒම අපහසු ය.

ෂොකු නිහොන්ගි හඟවන්නේ ගොගුර්යෝ භාෂාවක් වූ බ්ලහේ භාෂාව සහ සිල්ලා භාධාන අතර සමීප සම්බන්ධයක් පැවති බවයි. එකල ජපන් භාෂාවේ අර්ථ දැක්වීම් පුහුණු වීමට සිල්ලාවේ සිට ජපානය වෙත ශිෂ්‍යයකු යැවුණු අතර, ඔහු ජපන් රාජසභාවේ සන්නිවේදනයට බල්හේ රාජ්‍ය තාන්ත්‍රිකයකු සහාය වූ බැව් එහි දැක්වේ.

චීන ලේඛන ක්‍රමය නිල සහ පුළුල් වශයෙන් භාවිතයේ පැවතීම නිසා, වර්තමානයේ හඳුනාගෙන ඇත්තේ බල්හේ වචන දෙකක් පමණි. එනම් "රජු" යන අරුතැති කුන්ඩුෆු (可毒夫 ලෙස ලියනු ලැබේ) සහ "ඉස්තාලය" යන අරුතැති ෆුරුකි යන වදනයි. මේවා කොරියානු සම්භවයකට වඩා තුන්ගුසීය භාෂාමය සම්බන්ධතාවක් ඇති බැව් පෙනේ.

මේවාත් බලන්න

  • ‍කොරියාවේ ඉතිහාසය
  • කොරියාවේ යුධ ඉතිහාසය
  • කොරියාව හා සම්බන්ධ මාතෘකා ලැයිස්තුව

ආශ්‍රේයයන්

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි