කුරානය සහ අන්‍යාගමිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය

අපොයි

ඉස්ලාමයේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ කුරානය යි. මුස්ලිම්වරුන්ගේ විශ්වාසයට අනුව එය මුහම්මද් නබිතුමන්ට දශක 2කට ආසන්න කාලයක් පුරා විටින් විට පහළ වූවක් වන අතර එහි වැකි විවිධ අවස්ථාගත කරුණුවලට අනුකූල වෙමින් එළිදරව් කෙරී ඇත. කුරානයේ පවුල, විවාහය, කාන්තාවන්, දේපල උරුමය, අපරාධ හා දඩුවම්, යහසිරිත්, විශ්වය, ස්වර්ගය හා නිරය වැනි විවිධ කරුණු හා අංශ සමග ගනුදෙනු කරන වැකි 6666ක් ඇත.

මේ අතර අන්‍යාගමිකයන් සම්බන්ධ වැකි ගත්කළ අන්‍යාගමිකයන් සමග සාමකාමීව හැසිරීමට උපදෙස් දෙන වැකි මෙන් ම ඔවුන්ට විරුද්ධ ව සටන් කළ යුතු බව පවසන වැකි ද ඇත. වෙසෙසින් ම මුල් කාලයේ දී පහළ වූ වැකි සාමයෙන් සමාදානයෙන් කටයුතු කිරීමට සහ ප්‍රතික්ශේප කරන්නන් සමග නො ගැටී සිටීමට අනුබල දෙන නමුත් පසුකාලීන ව පහළ වූ වැකි විසින් අන්‍යාගමිකයන් සමග සටන් කිරීමටත් ඔවුන් ව දුටු තැන මරාදැමීමටත් අණ කරයි. පසුකාලීන වැකියක් විසින් මුල්කාලීන වැකියක් අහෝසි කිරීමේ සිද්ධාන්තයක් පවතින බැවින් ද, ඇතැම් වැකි පොදුවේ අදාළ වන අතර තවත් වැකි විශේෂිත ඓතිහාසික අවස්ථාවන්ට පමණක් අදාල වන බව පැවසෙන බැවින් ද මෙම වැකි අතර සබඳතාවය වටහාගැනීම තුළින් අර්ථය නිරවුල් කරගැනීම යුද්ධය සම්බන්ධ ඉස්ලාමීය චින්තනයේ තීරණාත්මක කරුණක් වී තිබෙන බව චාල්ස් මැතිව්ස් වැනි මේ පිළිබද අධ්‍යයනය කර ඇති විද්වතුන්ගේ අදහසයි. [1]

ඉස්ලාමීය විද්වතුන් රැසක් ම කුරානයේ අන්‍යාගමිකයන්ට එරෙහි ව ප්‍රචණ්ඩ ව කටයුතු කිරීමට අණ දෙන වැකි අතීතයේ මුස්ලිම්වරුන් සිය ආගම හේතුවෙන් අන්‍යාගමිකයන්ගේ හිංසනයට ලක් වූ තත්ත්වයන් තුළ එකී ප්‍රචණ්ඩත්වයට ප්‍රතිප්‍රචණ්ඩත්වය දැක්වීමට අණ කළ අවස්ථාවන් පමණක් බව පවසා තිබෙන නමුත් [2][3][4][5][6][7] අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් සිය ත්‍රස්ත ක්‍රියාවන් කුරානයට සහ ඉස්ලාම් ධර්මයට එකග බව පෙන්වීමට ද මෙම වැකි යොදාගෙන තිබේ. [8] එබැවින් ඉස්ලාමයේ යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය පිළිබද ඉගැන්වීම්වල හරි අරුත නිමාවක් නැති විවාදයක් බවට පත් වී තිබේ. [9][10]

සාමය සහ සමාදානය

කුරානය ප්‍රචණ්ඩත්වය, හිංසනය, කෲරත්වය, තාඩන පීඩන කිරීම ප්‍රතික්ශේප කරන ආගමික නිදහස සහ යුක්තිය වෙනුවෙන් පෙනීසිටින කෘතියක් බව සනාථ වන බව මුස්ලිම් නොවන අය ද ඇතුලු ව විද්වතුන් රැසක් විසින් පෙන්වා දී තිබේ. ෆවුසි අබ්දුල්මාලික්ට අනුව අතිබහුතරයක් මුස්ලිම් විද්වතුන් ඉස්ලාමය හදුන්වා ඇත්තේ සාමයේ දහමක් වශයෙන් මිස යුධකාමී දහමක් ලෙස නොවේ. ඔවුන් පවසන්නේ කුරානයේ ජිහාඩය සහ යුද්ධෝපදේශ ඇතුළත් වැකි ඒවායේ නිසි සන්දර්භයෙන් තොර ව කියවීම නිසා බොහෝ මුස්ලිම් නොවන අය එම වැකි වරදවා වටහාගෙන ඇති බවයි. [11]

නිසිම් රෙජ්වාන් පවසන පරිදි "ප්‍රචණ්ඩත්වය සහ කෲරත්වය කුරානයේ දැක්ම නොවේ. එය නබිතුමන්ගේ හෝ මුල්කාලීන ශ්‍රේෂ්ඨ මුස්ලිම්වරුන්ගේ හෝ ජීවිත තුළ ද දැකගත නොහේ.” [12]

ෆෙයිසාල් අබ්දුල් රාවුෆ්ට අනුව "බලහත්කාරයෙන් ආගමට කැඳවා ගැනීම කුරානය ප්‍රකාශිතව ම සහ නිශ්චිත ව ම තහනම් කර තිබේ. මන්ද යත් මූලික ම මානව අයිතියක් වන සිතීමේ නිදහස නැති කරන බැවිනි.” වෙනත් විශ්වාසයන් දැරීම ඉස්ලාම් නීතිය තුළ ප්‍රචණ්ඩත්වය දැක්වීමට හෝ අනෙකා සමග සටන් කිරීමට සාධාරණ හේතුවක් ලෙස නො පිළිගැනේ. කුරානය මේ සම්බන්ධ ව නිසැක මතයක් දරයි: “ආගම උදෙසා බලකිරීමක් නොමැත” යනුවෙන් එය පවසයි (2: 256 වැකිය). "ප්‍රතික්ෂේප කරන්නන්ට ඔබ මෙසේ පවසනු. ඔබට ඔබගේ මාර්ගය, මා හට මාගේ මාර්ගය.” යනුවෙන් ද එය පවසයි. (109: 1-6 වැකි) [13]

අනෙක් පාර්ශ්වය සාමයට කැමති නම් ඔවුන් මුස්ලිම්වරුන් නොවුණත් ඔවුන්ට එරෙහිව සටන් නොකළ යුතු බව පවසන වැකි සාම වැකි වශයෙන් හදුනා ගත හැකි බව චාල්ස් මැතිව්ස් පවසයි. කුරානයේ දෙවන පරිච්ඡේදයේ එන විශ්වාසවන්තයන්ට සීමාව ඉක්මවා නොයන ලෙස අණකරන වැකියක් නිදසුනක් වශයෙන් හෙතෙම ගෙනහැර දක්වයි. “අල්ලාහ්ගේ මාර්ගයෙහි (ඔබ යාම වළක්වා) ඔබට විරුද්ධ වූවන් සමග ඔබත් යුද්ධ කරනු. නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු. මන්දයත් අල්ලාහ් නියත වශයෙන් ම සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත.” (2:190 වැකිය) [1]

චිබා සහ ෂොඑන්බෝම් තර්ක කරන පරිදි "මතවාදී වෙනස්කම් තිබීම මත අන්‍යයන් සමග සටන් කිරීමට ඔවුන් මුස්ලිම්වරුන් වූවත් නොවූවත් ඉස්ලාමය ඉඩ නොතබයි.” එසේ පවසනු වෙනුවට එය "ඔවුන් කෙරෙහි කාරුණික ව කටයුතු කිරීමට පොළඹවයි”. [14][15][16][17] යොහාන් ෆ්‍රීඩ්මන් තර්ක කරමින් පවසන්නේ මුස්ලිම්වරුන්ගේ සතුරන් ඉස්ලාමයේ සතුරන් ලෙස හැදින්වීම (8:57-62 වැකි) මත යුද්ධ කිරීමේ අවසරය ආගමික ස්වරූපයක් ගත්තත් කුරානය ආගම ව්‍යාප්ත කිරීමේ අරමුණින් සටන් කිරීමට අනුබල නොදෙන බව ය. [18]

සොලමන් ඒ. නිගොල්සියන් තර්ක කරන්නේ කලහකාරී තත්ත්වයක් වැළැක්වීමට හෝ ඉස්ලාමය රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය වන අවස්ථාවක දී එකී තත්ත්වය සංසිෙඳන තුරු සටන් කිරීමට විරුද්ධකරුවන් මුස්ලිම්වරුන් වූවත් නොවූවත් අවසර දී තිබෙන බවයි. එවැනි අවස්ථාවක දී නිර්භීත ව සහ ධෛර්යයෙන් යුක්ත ව එම සටන ගෙන යාමට කුරානය අණ කරයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉස්ලාමය රැකගැනීම වෙනුවෙන් සටන් කිරීම අනිවාර්ය යුතුකමක් බව කුරානයෙන් පැහැදිලි ව පැවසෙන බව යි. එවැනි අවස්ථාවක දී සටන ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ යුතු බවත් අසාධාරණය සහ පීඩනය නැවැත්වීමේ අරමුණින් සටන් කරන එකී සටන්කරුවන් මියගියත් අල්ලාහ් ඔවුන්ට ප්‍රතිලාභ ලබාදෙන බවත් කුරානය ප්‍රකාශ කරන බව හෙතෙම පෙන්වාදෙයි. [19][page needed]

චන්ද්‍ර මුසාෆර්ට අනුව "පීඩනයට, කලහකාරීත්වයට, අසාධාරණයට එරෙහි ව ප්‍රතිචාර දැක්වීමට කුරානය කරන දිරිමත් කිරීම ප්‍රචණ්ඩත්වය යුක්තිසහගත කළ හැකි පසුබිම් පෙන්වා දෙයි. එනම් ප්‍රචණ්ඩත්වය යුක්තිසහගත වන්නේ කවර පසුබිමක දී ද යන්න පිළිබද නිර්ණායකයක් ලෙස කුරානය යොදාගත හැකි ය." [20]

කුරානයේ එන ආබෙල් සහ කායින් පුවතේ ආබෙල් සිය ඝාතක සොයුරාට පවසන්නේ "ඔබ මාව කපා දැමීම සදහා ඔබගේ අත මා වෙත දිගු කළහොත්, ඒ (අවස්ථාවේ වුවද), මා ඔබ ව කපා දැමීමට මාගේ අත ඔබ වෙත දිගු නොකරන්නෙමි. මන්දයත් නියත වශයෙන්ම මම සකල ලෝකවාසීන් උත්පාදනය කර, පෝෂණය කර, ආරක්ෂා කරන්නා වන අල්ලාහ්ට බිය වන්නෙමි.” යනුවෙනි. ජව්දාත් සායිද් වැනි විද්වතුන් [21] මෙය අහිංසාව ප්‍රවර්ධනය කරන අවස්ථාවකට නිදසුනක් ලෙස හදුනාගෙන ඇත. [22]

මුහම්මද් අලි, මව්ලානා සද්ර් උද් දීන්, බෂාරත් අහමද් වැනි අහ්මදියා ඉස්ලාම් විද්වතුන් මෙන් ම බ්‍රිතාන්‍ය ජාතික ප්‍රාචීනවාදී විද්වතෙක් වන ගොට්ලීබ් විල්හෙල්ම් ලෙයිට්නර් ද පෙන්වා දෙන්නේ කුරානය ප්‍රචණ්ඩත්වය ප්‍රථමයෙන් ඇරඹීම තහනම් කරන බව සහ එය අවසර දෙන්නේ ආත්මාරක්ෂාව සදහා සටන් කිරීමට පමණක් බව කුරානයේ වැකි ඒවා පහළ වූ වීමට හේතු වූ පසුබිම සමගින් කියවූ විට මැනවින් පැහැදිලි වන බවයි. [23][24][25][26][27]

අරවින්ද් කුමාර් මෙලෙස පවසයි:

කුරානය ප්‍රචණ්ඩත්වය අනුදකින්නේ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිප්‍රචණ්ඩත්වයක් වශයෙන් පමණකි. එම යුගයේ අරාබි ගෝත්‍රවල ඉතිහාසය සහ ඔවුන් නියැලුණු දරුණු සටන් පිළිබද හදාරන කෙනකුට එම පසුබිම තුළ අහිංසාවාදී අරගලයක් ඵල දරන්නට ඉඩක් නොතිබුණු බව වැටහෙනු ඇත. [28]

ඛාලිඩ් අබු එල් ෆාදි පවසන පරිදි “කිසිදු සාධාරණ හේතුවකින් තොර ව, සීමාකිරීම්වලින් තොර ව අන්‍යාගමිකයන් සමග සටන් කිරීමට අණකරන කිසිදු කුරාන වැකියක් හදුනාගත නො හැකි ය.” [29] එස්පොසිටෝ සහ මොගාහෙඩ් යන අයට අනුව කුරානය යුද්ධ කිරීමට සපයන අවසරය සතුරාට සාමය සදහා දෙන බලවත් වරමකින් තුලිත කරයි. [30][31]

සටන් වැකි

දීපක් ගුප්තා පවසන පරිදි මිත්‍යාදෘෂ්ටිකයන්ට (දාර් අල් කුෆ්ර්) එරෙහි ව ඉස්ලාමීය ප්‍රචණ්ඩත්වය සාධාරණීකරනයට ජිහාඩ්වාදීන් විසින් බහුලව ම යොදාගෙන ඇත්තේ කුරානයේ එන "අසිපත් වැකි" යනුවෙන් හදුන්වන වැකි ය. [32]අන්‍යාගමිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සදහා යොදාගත හැකි බව පෙනෙන වැකි කීපයක් ම කුරානයේ හමුවන අතර [33]2: 191, 193 වැකිත්, 9:5 සහ 49:9 වැකිත් ඒ අතර වේ.

ඔවුන් ව දුටු තැන කපා දමනු. ඔවුන් ඔබ ව පිටමං කළ ආකාරයට ම ඔබත් ඔවුන් ව පිටමං කර දමනු. අයුක්තිය (persecution) ඝාතනයට වඩා ඉතාමත් නපුරු ය.

... තවද ආරවුල (අරාබි - fitnah) පහ වී ධර්මය අල්ලාහ් උදෙසා ම වන තුරු ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරනු.

(කුරානය 2: 191)

ඉස්ලාම් විද්වතුන් පවසන පරිදි මෙම වැකියට පසුබිම් වන්නේ මුස්ලිම්වරුන්ගේ සතුරන් වූ කුරයිෂිවරුන් සමග එක් ව කටයුතු කටයුතු කළ බානු බක්ර් නම් ගෝත්‍රය විසින් මුස්ලිම්වරුන් සමග ගිවිසුම්ගත ව සිටි බානු කුසාආ වරුන්ට පහර දෙමින් හුදයිබියා ගිවිසුම බිද දැමීමෙන් පසු මුස්ලිම්වරුන් කළ ආරක්ෂාකාරී සටන යි. මීට ප්‍රතිචාරයක් වශයෙන් නබිතුමන් විසින් කුරයිෂ්වරුන්ට ලිපියක් යවන ලදී. ඒ ඊට වන්දියක් ගෙවන ලෙස හෝ යටත් වන ලෙස ය. නමුත් කුරයිෂ්වරු මුහම්මද්ගේ මෙම වරයන් දෙක ම ප්‍රතික්ෂේප කළෝ ය. ඒ අනුව ඔවුන් සාම ගිවිසුම කඩ කළ අය බවට පත්විය. මෙම වැකිය අදාල වන්නේ සාම ගිවිසුම කඩ කිරීමට හේතු වූ අය සම්බන්ධයෙන් පමණක් ය යන්න පිළිබඳව ද විද්වතුන් අතර එකගත්වයක් ඇත. [34] මෙම වැකියට පෙර වැකිය මෙසේ පවසයි:

අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ යුද්ධ කරනු. නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු. අල්ලාහ් නියත වශයෙන් ම සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත. (කුරානය 2: 190)

සටන් කිරීමට අවසර ලබා දී ඇත්තේ ආත්මාරක්ෂාව උදෙසා පමණක් ය යන්න පෙන්වාදීම සදහා මෙම වැකිය දක්වා ඇත. [35]

කෙසේනමුත් 2: 191 වැකිය සම්බන්ධයෙන් ගැටලුසහගත ස්වභාවයක් ද තිබේ. එය අන්‍යයන් මරාදැමීම සදහා අවසර ලබාදෙන්නේ අයුක්තියක් (event of persecution) සිදුවන අවස්ථාවක දී පමණ ය. [36]නමුත් එය ම පවසන පරිදි "ධර්මය අල්ලාහ් උදෙසා ම වන තුරු” එම සටන ගෙන යා යුතු ය. එමෙන් ම මෙහි අයුක්තිය යනුවෙන් මෙන් ම ආරවුල යනුවෙන් ද පරිවර්තනය වී තිබෙන ෆිට්නා නම් අරාබි වචනයේ අර්ථය සම්බන්ධයෙන් මතභේදයක් තිබේ. ෆිට්නා යන්නට බොහෝ අරුත් දිය හැකි අතර ප්‍රමුඛ ම අරුත වන්නේ පරීක්ෂාව හෝ අභියෝගය වැන්නකි. (කුරානය 2:191-193) ෆිට්නා ව නොමැති වන තුරු සටන් කරනු (fight until there is no more fitnah) යනුවෙන් මෙහි සදහන් වේ. මධ්‍යකාලීන යුගයේ විසූ විශිෂ්ට ඉස්ලාමීය විද්වතෙක් වන ඉබ්න් කාතිර් සිය කුරාන අර්ථවිවරණයේ ෆිට්නා යන්න විග්‍රහ කර ඇත්තේ "ෂිර්ක්" හෙවත් බහුදේවවන්දනාව යනුවෙනි. [37]

මිෂෙලින් ආර්. ඉෂේ තර්ක කරන පරිදි කුරානය යුක්තිසහගත කරන්නේ ඉස්ලාමීය සමාජය බාහිර හෝ අභ්‍යයන්තර කෝලාහලකරුවන්ගෙන් සහ ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කරගැනීමට සිදුකරන යුද්ධයන් පමණකි. එමෙන් ම සිදුකර තිබෙන යුද්ධයන් ද සිදු වී ඇත්තේ සිය ප්‍රතිඥාවන් කඩ කරමින් ද්‍රෝහී වූ පිරිස්වලට එරෙහි ව පමණි. [38][39][40] මුෆ්තිවරයෙක් වන එම්. මුකර්රම් අහ්මද් පවසා ඇත්තේ ද කුරානය දිරිමත් කරන්නේ ආත්මාරක්ෂාව උදෙසා සටන් කිරීම සදහා පමණක් වන බව ය. [41][42] ඔහු තවදුරටත් පෙන්වා දී ඇති පරිදි සතුරන්ට එරෙහි ව සටන් කිරීමට අවශ්‍ය වන සෑම සූදානම් කිරීමක් ම සදහා අවශ්‍ය මගපෙන්වීම කුරානයේ දක්වා තිබෙන බව යි. [43][44]

අත් තව්බා 5

අසිපත් වැකි යනුවෙන් හදුන්වා දිය හැකි අන්‍යාගමිකයන් සමග සටන් කිරීමට සහ ඔවුන් ව ඝාතනය කිරීමට අණ දෙන ප්‍රබල වැකි දෙකක් ඇන්ටොනී වෙසල්ස් හදුනා ගනී. ඒ කුරානයේ 9 වන පරිච්ඡේදය වන අත් තව්බා (පසුතැවිල්ල) හි 5 වැනි වැකියත් එම පරිච්ඡේදයේ ම 29 වන වැකියත් ය. [45]වෙසෙසින් ම 9:5 වැකිය අසිපත් වැකිය (ආයත් අල් සායිෆ්) ලෙස ප්‍රචලිත වී තිබේ.

ශුද්ධ වූ මාස හතර ගෙවී ගිය පසු සමානයන් තබන්නන්ව දුටු තැන කපාදමනු. ඔවුන්ව සිරගත කර තබනු. ඔවුන්ව වටලනු. සෑම සැගවෙන ස්ථානයකම ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සැගවී සිටිනු. ඔවුන් පසුතැවිලි වී ඈත් වී සලාතයද නොකඩවා ඉටුකර, සකාතයද ගෙවමින් සිටියහොත් ඔබ ඔවුන්ව යුද්ධ නොකර අතහැර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයකු වශයෙන් සිටින්නේ ය. (කුරානය 9:5)

යුසුෆ් අලි පෙන්වා දෙන පරිදි මෙම වාක්‍යයට පසුබිම් වූ තත්ත්වය හදුනාගැනීමට නම් මෙම පරිච්ඡේදයේ පළමු වැකියේ සිට කියවිය යුතු ය. එම වැකියට අනුව මුස්ලිම්වරුන් සහ මක්කාවේ මුෂ්රික්වරු (පිළිම අදහන්නන්) අතර සාම ගිවිසුමක් තිබී ඇත. මෙම ගිවිසුම මක්කාවේ මුෂ්රික්වරුන් විසින් කඩකරනු ලැබී ය.[46] ඔවුන්ට නගරයෙන් ඉවත් වීම සදහා මාස හතරක කාලයක් දෙනු ලැබී ය. එම කාලය ඇතුළත එසේ නොකළහොත් ඔවුන්ට එරෙහිව යුධ කළ යුතු විය. [47] කුරානය එහි දී ද ඔවුන්ගෙන් (සමානයන් තබා නමදින්නන්ගෙන්) කවරකු හෝ යුද්ධය අතරතුර මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව පැතුවහොත් ඔහුට ආරක්ෂාව සපයන ලෙස පමණක් නොව ඔහු ව ආරක්ෂා සහිත වෙනත් ස්ථානයකට යවන ලෙස ද අණ කරයි (කුරානය 9: 6 වැකිය). [48]

රූවන් ෆයරස්ටන් පවසන පරිදි මධ්‍යකාලීන යුගයේ විසූ විශිෂ්ට ඉස්ලාමීය විද්වතකු වන ඉබ්න් කාතිර්ට අනුව අසිපත් වැකි හතරක් පවතින අතර එම වැකි ඔවුන්ට එරෙහි ව සටන් කිරීම මුස්ලිම්වරුන්ගේ නියත යුතුකමක් වන කණ්ඩායම් හතරක් දක්වා ඇත. ඒ අනුව 9:5 වැකිය පිළිම අදහන්නන් සමග සටන් කිරීමට ද, 9:29 වැකිය පුස්තකයේ සදහන් කර ඇති අයවලුන් (යුදෙව්, ක්‍රිස්තියානි) සමග ඔවුන් ජිස්යා නම් බද්ද ගෙවන තුරු සටන් කිරීමට ද, 9:73 මුස්ලිම්වරුන් බව වංචනිකව පෙන්වමින් ඇතුළතින් නබිවරයාට හා ඉස්ලාමයට එරෙහි ව නටයුතු කරන්නන්ට එරෙහි ව සටන් කිරීමට ද, 49:9 අනෙකුත් මුස්ලිම්වරුන් ව පෙළීමට ලක් කරන මුස්ලිම්වරුන්ට එරෙහි ව සටන් කිරීමට ද අණ කරයි. [49]අරුන් ෂූරි අසිපත් වැකිය මෙන් ම කුරානයේ වෙනත් බොහෝ වැකි ද විවේචනයට ලක් කර තිබේ. ඔහු පවසන්නේ සුන්නාවන් (නබිතුමාගේ ආදර්ශයන්) සහ හදීස් (නබිතුමාගේ කියුම්) කුරානය පුරා ම දක්නට තිබෙන පණිවිඩය වන ජිහාඩය කෙරෙහි සමාන වූ පෙළඹවීමක් සිදුකරන බව යි. [50]

සුප්‍රසිද්ධ අසිපත් වැකියෙන් ඉළක්ක වී ඇත්තේ ගිවිසුම් කඩකිරීම සහ කළහකාරී හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා තිබෙන නිශ්චිත පිරිසකට පමණක් බවත් නීතිගරුකව කටයුතු කරන පිරිස් එම නියෝගයෙන් බැහැර කෙරී ඇති බවත් පැට්‍රීෂියා ක්‍රෝන් පවසයි. ක්‍රෝන් පවසන පවසන පරිදි මෙම වැකිය පෙර කියන ලද යුක්තිසහගත සංග්‍රාම රීතීන් සමග එකඟ වේ. ඔවුන් නිවැරදි වුවහොත් සටන අත්හැර දමන ලෙස මෙහි ද පවසා තිබේ. [51]

සටන් කිරීමට සහ මරාදැමීමට අවසර දී ඇත්තේ මුස්ලිම්වරුන් සමග පැවති ගිවිසුම් කඩකරමින් ඔවුන්ට ප්‍රථමයෙන් පහරදුන් සහ ඒ වන විටත් යුධ වැදී සිටි ඇතැම් ගෝත්‍රයන් සම්බන්ධයෙන් පමණක් බව මෙම වැකිවල සන්දර්භය පහදා දෙමින් (මුහම්මද් අසාද් සහ මවුලානා මුහම්මද් අලි වැනි) කුරාන විෂාරදයන් පවසා ඇත. [23][52]

මුස්ලිම්වරුන් කෙරෙහි සාධාරණ ව සහ මිත්‍රශීලී ව කටයුතු කරන මුස්ලිම් නොවන්නන් වෙනත් විශ්වාසයක් දරන්නන් වීම මත ප්‍රහාරයට ලක් කළ නොහැකි බව කුරානයේ 60: 8 [53]වැකියෙන් පැහැදිලි වන බව ඔලිවර් ලීමාන් සඳහන් කරයි. [54]

සාම වැකි

සාමකාමී අන්තර්සබදතාවක පූර්වවශ්‍යතාවයක් වන විවිධත්වය ඉවසීම කෙරෙහි දිරිමත් කරන කුරාන වැකි කීපයක් පිළිබද ව ඛාලිඩ් අබු එල් ෆාදි සදහන් කරයි. කුරානයේ 49:13, 11:118-119, 5:48 වැකි ආගමික විවිධත්වය ද ඇතුලු ව මානව සමාජයේ විවිධත්වය දිව්‍යමය සැලැස්මේ ප්‍රතිඵලයක් බව පෙන්වා දෙයි. [55]

මිනිසුනේ! නියත වශයෙන්ම අපි ඔබව එක් පිරිමියකු හා ගැහැනියකගෙන්ම උත්පාදනය කළෙමු. පසුව කෙනකු අනිත් කෙනාව හදුනා ගැනීම පිණිස ජාතීන් බවටද, ගෝත්‍රිකයින් බවටද පත් කළෙමු. ඔබගෙන් කවුරුන් භය භක්තිකයින් වශයෙන් සිටින්නේද, ඔහුම නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් ගෞරවණීය කෙනකු වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් හොදින් දන්නෙකු හා හොදින් දැනුවත් කෙනෙකු වශයෙන් සිටින්නේය.

(කුරානය 49: 13) [55]


ඔබගේ දෙවියන් අදහස් කළේ නම්, මිනිසුන් සියල්ල එකම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. නමුත් ඔවුහු වෙනස්කම් ඇති අය වශයෙන්ම සිටින්නෝය. ඔබගේ දෙවියන් දයාව පහළ කළ අය හැර, ඒ අයුරින්ම ඔවුන්ව නිර්මාණය කර ඇත්තේය.

(කුරානය 11: 118) [55]


සත්‍යයෙන් පිරි මෙම ධර්මය අපිම ඔබ කෙරෙහි පහළ කළෙමු. මෙය තමන්ට පෙර ඇති ධර්මයන්ද සත්‍යය කර තබන්නේය. තවද ඒවා ආරක්ෂා කරන්නක් වශයෙන්ද ඇත්තේය. එබැවින් ඔබ අල්ලාහ් පහළ කළ මෙමගින්ම ඔවුන් අතරේ විනිශ්චය දෙනු. ඔබට පැමිණි සත්‍යය ප්‍රතික්ෂේප කර දමා ඔවුන්ගේ කැමැත්ත ඔබ අනුගමනය නොකරනු. ඔබගෙන් සෑම සමූහයකටම එක් එක් ධර්මයද, මාර්ගයද අපිම ඇති කළෙමු. අල්ලාහ් අදහස් කළා නම් ඔබ සියල්ලන්වම එකම සමූහයක් බවට පත්කරන්නට තිබුණි. එහෙත් ඔබට පහළ කළ දැයෙන් ඔබව පිරික්සුමට ලක්කිරීම සදහාම මෙසේ කර ඇත්තේය. එබැවින් හොද දැය දෙසටම ඉක්මන් කර යනු. අල්ලාහ් දෙසටම ඔබ සියල්ලන්වම යා යුතුව ඇත්තේය. ඔබ කුමන තර්ක කරමින් සිටියේද, එය ඔහු, ඔබට හොදින් දැනුම් දෙනු ඇත.

(කුරානය 5: 48)


විශ්වාසය තැබූවන්ගෙන්ද, යුදෙව්වන්ගෙන්ද, සාබිඊන්වරුන්ගෙන්ද, ක්‍රිස්තියානුවන්ගෙන්ද, කවුරු අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම කිසිම බියක් නැත. ඔවුහු දුක් නොවන්නෙහුය.

(කුරානය 5: 69) [55]

සාමය ඇතිකර ගැනීමට අවසර දෙන සහ සතුරන් සාමයට කැමති නම් එම ඉල්ලීම මගනොහරින ලෙස මුස්ලිම්වරුන්ට අණ කරන වැකි කීපයක් ද අබු එල් ෆාදි හදුනාගනී.

ඔවුන් සමාදානය දෙසට ගමන් කළහොත් ඔබත් ඒ දෙසටම ගමන් කරනු. අල්ලාහ්වද විශ්වාස කරනු. නියත වශයෙන්ම ඔහු සවන් දෙන්නකු හා හොදින් දන්නකු වශයෙන් සිටින්නේය.

(කුරානය 8: 61) [56]


මන්දයත් අල්ලාහ් අදහස් කළහොත් ඔවුන් ජයග්‍රහණය කර, ඔවුන් ඔබව කපන මෙන් සලස්වන්නට ඉඩ තිබුණි. එබැවින් ඔබ සමග යුද්ධ නොකර ඈත් වී සිට ඔබ වෙතින් සමාදානය ඉල්ලා සිටියහොත් එය බාර ගනු. මන්දයත් මෙවැන්නන් සමග යුද්ධ කිරීමට අල්ලාහ් ඔබට කිසිම මගක් තැබුවේ නැත.

(කුරානය 4: 90) [56]

අහෝසි කිරීම

චාල්ස් මැතිව්ස් පවසන පරිදි කුරානයේ සටන් වැකි ලෙසින් හදුනාගත හැකි වැකිත් සාම වැකි ලෙස හදුනාගත හැකි වැකිත් සම්බන්ධයෙන් විශාල මතභේදයක් පවතී. ඔහු පෙන්වා දෙන පරිදි ගැටලුව වී ඇත්තේ මෙම දෙවර්ගයට අයත් වැකි එකකට එකක් ප්‍රමුඛ විය යුතු අන්දම යි. එම වැකි එකිනෙකාගේ වලංගුතාවය කෙරෙහි දක්වන බලපෑම නිශ්චය කරගැනීම ඉස්ලාමයේ යුධ න්‍යාය තුළ සාකච්ඡාවට ලක්වන ප්‍රධාන ම කරුණක් වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි. [1] හිජ්රා ගමනට පෙර මුහම්මද් මක්කාවේ සිය සතුරන්ට එරෙහි ව සාමකාමී අරගලයක් ගෙන ගියේ ය.[57] කුරානයේ නියෝගයන් ප්‍රචණ්ඩ ස්ථාවරයක් ගන්නේ මෙම නික්මයාමෙන් අනතුරු ව ය. [58]

ඔලිවර් ලීමන් පෙන්වා දෙන පරිදි එක්තරා ඓතිහාසික තත්ත්වයක දී පමණක් අදාල වූ සහජීවන වැකි අභිබවා සටන් වැකි ප්‍රමුඛ වන බව ඉස්ලාමීය නීතිවේදීන් රැසක් විසින් පවසා ඇත. [54] නිදසුන් ලෙස අසිපත් වැකිය වන 9:5 විසින් නබිතුමන් සහ පිළිම අදහන්නන් අතර ඇතිකරගත් සෑම සාම ගිවිසුමක් ම අහෝසි කරන්නේ යැයි ඉබ්න් කාතිර් (1301 - 1372) පවසා තිබෙන බව ඩයනා මෝර්ගන් පෙන්වා දෙයි. [59]

කුරානයේ පසු ව පහළ වූ වැකියක් සහ කලින් පහළ වූ වැකියක් අතර ගැටුමක් ඇති විට පසුව පහළ වූ වැකිය වලංගු වන බවට කුරාන අර්ථ විග්‍රහයේ මූලධර්මයක් වෙයි. මෙය නස්ක් (අහෝසිකිරීම) යනුවෙන් හඳුන්වයි. මෙය පදනම් වී ඇත්තේ කුරානයේ 16: 101 වැකිය මත ය.

සාමය සහ සමාදානය වෙනුවෙන් පෙනීසිටින කුරාන වැකි රැසක් බලරහිත කිරීමට තුඩුදිය හැකි සටන් වැකිවල මෙම අහෝසිත්වය (abrogation) නූතන මුස්ලිම්වරු නිතැනින් ම ප්‍රතික්ශේප කරති. [60][61]

මේවාද බලන්න

ආශ්‍රිත නාමාවලිය

අඩවියෙන් බැහැර පිටු

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි