මිහින්තලය කෞතුකාගාරය

මිහින්තලේ පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මිහින්තලේ පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයකි[1]

මිහින්තලය පුරාවිද්‍යා කෞතුකාගාරය
Map
පිහිටුවීම1984
පිහිටීමමිහින්තලය, ශ්‍රී ලංකාව
වර්ගයපුරාවිද්‍යා
වෙබ් අඩවියhttp://www.archaeology.gov.lk

පිහිටීම

මිහින්තලය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන වටරවුමේ සිට දකුණු දෙසින් නුවර මාර්ගයේ මීටර් 200ක් ගිය පසු මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය හමුවේ. පයින් යන ඕනෑ ම නරඹන්නෙකුට මිහින්තලා ඓතිහාසික රෝහල් සංකීර්ණය ඉදිරිපිටින්, මිහින්තලා පඩිපෙළට යන මාර්ගයේ මෙම කෞතුකාගාරය වෙත ළඟා විය හැකිය.

ඉතිහාසය

විශ්‍රාම ශාලාවක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිල්ල පසුව ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලදී.[2] සහ කෞතුකාගාරයක් ලෙස සකස් කර 1984 ජූනි 24 වැනි දින විවෘත කරන ලද්දේ එවකට අගමැති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි. වසර 22 ක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමෙන් පසු ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ පැවති අතර 2006 වසරේ තවත් අලුත්වැඩියා කටයුත්තක් ආරම්භ කර 2010 මැයි 31 දින ජනතා අයිතියට පත් කරන ලදී.[2]

කෞතුක වස්තු එකතුව

මිහින්තලය සහ ඒ අවට ප්‍රදේශවලින් හමුවූ පුරාවිද්‍යාත්මක වස්තූන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. එහි ලෝකඩ රූප, පෞරාණික මෙවලම්, බිතුසිතුවම් කැබලි සහ සිතුවම් අඩංගු වේ. කෞතුකාගාරයේ ප්‍රධාන ස්ථානය වන්නේ මිහින්තලේ කඳුකරයේ තිබී මෙහි ගෙන ආ ගිරිභණ්ඩ ස්තූපයේ අනුරාධපුර යුගයේ මුල් යුගයට අයත් චිත්‍ර සහිත මුල් ධාතු කුටියයි (ධාතු ගර්භය). එය මෙම කෞතුකාගාරයට පෙර අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන ලදි. එය ගිරිභණ්ඩ ස්තූපයෙන් ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් පහත පරිදි 1953 පාලන වාර්තාවේ මහාචාර්ය සෙනරත් පරනවිතාන මහතා මෙසේ දක්වා තිබේ.

"පිටුව අංක 15........

46. කණ්ඨක චෛත්‍යයට නැගෙනහිරින් 1951 වැන්නෙහි දී පාදාගත් දාගැබෙහි පේසා වළලු තැහැවිරීමේ වැඩ කරගෙන යන ලදී. එහි ලීස්තර මුලින් පැවති ලෙසම නැවත සාදන ලද්දේ ය. මේ ස්තූපයෙහි පහත ගර්භයෙහි වූ සිතුවම් ආරක්ෂා කිරීම දුෂ්කර ප්‍රශ්නයක් වූයේය. ඒවා පිහිටි ලෙස ම පවත්වා ගැනීමට අධික වියදම් දරන්නට වෙයි. එසේ කිරීමෙන් දාගැබ් දැම්මට හානි සිදුවීමට ඉඩ තිබේ. ඒ හැරත් එලෙස තිබිය දී ම සිතියම්වලට දිය සීරාවෙන් හටගෙන උවදුරු වළක්වාලීම ඉතා අපහසු වේ. එබැවින් ඒ සඳහා කළ හැකි එකම පිළිවෙත් වනුයේ සිතුවම් ගලවා අනුරාධපුරයේ පුරාවිදු කටුගෙට ගෙනගොස් සුරැකිව පවත්වා ගැනීමය.

47. චිත්‍ර පිහිටි බදාමේ ගැලවීම ඉතා දුෂ්කර විය. අතරින් පතර ඉරිතලන ලද ඒ බදාම දැඩිලෙස බැම්මෙහි ඇලී තිබුණේ ය. බදාමය පමණක් ඉවත් කිරීමට තැත් කළේ නම් ඒ කැබලි වී චිත්‍ර විනාශ වෙනවා නිසැකය. එබැවින් ඒ බදාම ආලේපිතව පිහිටි බැම්මෙ හි කොටසකුත් සමගම ගලවා වෙන් කර ගැනීමට සිදුවිය. ඉතා පටු බැවින් එහි තුළ කම්කරුවන්ට වුවමනා පරිදි වැඩ කිරීමට නොහැකිවේ. කණවන ලැබූ මේ ජරාවාස වූ දාගැබෙහි පහළ ගර්භයෙහි බැමි කැපීමේදී හටගැනිය හැකි දෙදුරුම් ආදී කරුණු වලින් ඉහළින් පිහිටි දුබල බැමි ගැබ තුළට කඩා වැටී කම්කරුවන්ට අනතුරු සිදු වීමට හැකිවිය. ඉහළ බැමි මුක්කු ගැසීමෙන් දැඩිලෙස තර නොකොට පහළ ගර්භයෙහි වැඩෙහි යෙදීම මහත් අනතුරුදායක බැවින් වැඩ පිළිබඳව අවවාද දීමට සමත් අය පැවසූහ. ගැබ් පියස්සේ පිහිටි විශාල ගල් පුවරු සිතුවම්ද අනතුරට අනතුරක් නොවන සේ ඉවත් කර පිටතට දැමීමට සිදුවිය. 1952 වැන්නේ මිහින්තලා මහා සෑය දී සිදු වූ අවාසනාවන්ත සිද්ධිය නිසා මේ වැඩේ යෙදීමට බොහෝ අය අධෛර්යයමත් වූහ.

48. කරුණු මෙසේ තිබියදී පුරාවිදු අධිකාරියේ නිලධාරියෙකු සරත් වත්තල මහතා ඉදිරිපත් වී අඩු වියදමින් වුවද සෑහෙන පමණ ආරක්ෂා සංවිධාන සලසාගෙන මේ කටයුතු ඉතා ප්‍රශංසනීය ලෙස නිම කරවිය. මේ රාජකාරි ඉටු කිරීමෙන් ඔහු විසින් කිසියම් ලාභ ප්‍රයෝජනයක් නොතකන ලද්දේය. එහෙත් පැරණි චිත්‍ර කලාවෙහි එවැනි උසස් නිදසුනක් ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස සුරැකිව තබා දුන් නිසා කලාකාමී අනාගත පරම්පරාවන් විසින් ඔහු ආදරයෙන් සිහිපත් කරනු ලබනවා ඇත....."

ඓතිහාසික රෝහල් සංකීර්ණයට අයත් පුරාවස්තු සහ මිහින්තලේ පුරාවිද්‍යා භූමියෙන් හමුවූ විවිධ පුරාවස්තු 200කට ආසන්න ප්‍රමාණයක් මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇත. ඒ අතරින් මිහින්තලා රෝහලෙන් හමුවූ ශල්‍ය උපකරණ, පර්සියානු මැටි බඳුන්, දේව රූප, ශාන්ති කර්ම සඳහා භාවිත කරන මැටි රූප ආදිය කැපී පෙනේ.

ප්‍රදර්ශන ගැලරි

මිහින්තලේ කෞතුකාගාරයේ ප්‍රදර්ශන ගැලරි 7ක් ඇති අතර ඒවා පහත පරිදි වේ.

  1. ස්තූප හැඳින්වීම - මිහින්තලය ආශ්‍රිතව
  2. මිහින්තලේ විවිධ ස්මාරක සම්බන්ධ වැදගත් තොරතුරු
  3. මිහින්තලේ පරිශ්‍රයේ ජල කළමනාකරණය
  4. විවිධ ස්ථාන වලින් හමුවූ පුරාවස්තු
  5. ජන්තාගාර - මිහින්තලා පරිශ්‍රය භාවිතය
  6. මිහින්තලේ ඓතිහාසික රෝහල පරිශ්‍රය
  7. මිහින්තලා පුදබිම ආශ්‍රිත සනීපාරක්ෂාව

මිහින්තලේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙන් තෝරාගත් ප්‍රදර්ශන භාණ්ඩ කිහිපයක්

මේවාද බලන්න

මූලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය