ශ්‍රී ලංකාවේ දාගැබ්

ඉතා ඈත අතීතයේ පටන් සිංහල සංස්කෘතිය හඳුන්වන්නේ ගමත්, පන්සලත්, වැවත්, දාගැබත් මුල්කරගත් සංස්කෘතියක් ලෙසයි. සිංහල බෞද්ධයන්ගේ ආගමික සංකේත අතර මුල්ම තැනක් දාගැබ හිමිකරගන්නා බව මින් පැහැදිලිය. සිංහල බෞද්ධයන් ස්තූප වන්දනාව බෞද්ධ ආගම ඉතා ඇත අතීතයේ සිට ම කරගෙන ආ පූජා විධි ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. සිංහල භාෂාවෙන් ස්තූපය විවිධ නම් වලින් හඳුන්වා දී ඇත. දාගැබ, තුඹ හෝතුබ, වෙහෙර, චෙත හා සෑය සිංහලෙන් ස්තූප හැඳින්වු නම් විය. පාලියෙන් ථුප, ඵලුක, චෙතිය, ධාතු හෝ ගබ යන නම් වලින් ස්තූප හඳුන්වා දී ඇත. ස්තූප යනු ගොඩනැගීම යන අරුත් අන්වර්ථ වන බව ඉන්දියානු සාහිත්‍යයට අනුව දැක්විය හැක. ස්තූප නැමඳීම තුළින් බෞද්ධයන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් ඉමහත් ආශ්වාදයක් ලබන බවද ඉන් ඔවුන් තුළ ඉමහත් භක්තියක් හටගන්නා බවද බොදු අප කාහටත් ‍නොරහසකි. මෙහිදී අප ස්තූප නමඳින්නේ ජීවමාන බුදුන්වහන්සේ නමදින්නාක් මෙන් දැඩි භක්තියකිනි.දුටුගැමුණු

රුවන්වැලි සෑය
ස්තූප වර්ග

බුදුන්වහන්සේ ජීවමානව වැඩසිටින අවධියේ සැරියුත්-මුගලන් අගසව් දෙනමගේ භෂ්මාවශේෂ තැන්පත් කරනු වස් ස්තූප ඉදි කළ බව "විභජ්ජවාදී සර්වාස්තිවාදී" බෞද්ධ නිකායට අයත් මූලාශ්‍රයන්හි සඳහන්ව ඇත. පශ්චාත් කාලීනව බුද්ධ, ප්‍රත්‍යක බුද්ධ, අර්හත්ත, චක්‍රවර්තී මහාරාජ යන සතර කොට්ඨාශ වලට අයත් පුද්ගලයින්ගේ ධාතු තැන්පත් කොට ඔවුනට ගෞරව සම්මාන දැක්වීමට අතීත බෞද්ධ ජනතාව අමතකකොට නොමැත. එහිදී ගම්‍යමාන වන ප්‍රධාන කරුණ නම් බොදු ජනතාව ඉතිහාසයේ පටන්ම ධාතු නිධන් කොට ස්තූප තනවා වන්දනාමාන කිරීමට දැඩි කැමැත්තක් දක්වා ඇති බවය. තවද මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව "මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි" මේ බව සඳහන්ව ඇත. එමෙන්ම පැරණි ඉන්දීය බෞද්ධයින් ස්තූප යොදා ගනු ලැබුවේ තම ආගමික කතෘ වරුන්ට ප්‍රණාමය දැක්වීම උදෙසාය. අප මහා ‍ගෞතමයන් වහන්සේද තමාට පෙර බුදුබවටපත් කාශ්‍යප බුදුන්වහන්සේ උදෙසා ස්තූපයක් කොට පූජා කළ බව ඓතිහාසික කරුණුවල සඳහන්ය.

කිරිවෙහෙර ස්තූපය



දෙවනපෑතිස් රජ දවස ඇතිවූ මහින්දාගමනයත් සමඟ ලාංකික ස්තූප ගොඩනැගීම ක්‍රමවත් බවට පත්විය.මෙකී මහින්දාගමනයත් සමඟ බොදුජන ජීවිත‍යේ විශාල පුනරුදයක්, පෙරළියක් ඇතිවිය. මෙය ලාංකික ජන සංස්කෘතිය, කලා ශිල්ප වලට එකලෙස බලපෑවේය.ලාංකික ස්තූප කෙරෙහිද මෙම තත්‍ව‍‍ය නොවෙනස්ව පැවතිණි.

ඓතිහාසික කරුණු අනුව ලංකාවේ ප්‍රථම ස්තූප ලෙස මහින්ද මහරහතන්වහන්සේගේ සැලසුමකට අනුව දේවානම්පියතිස්ස රජු අතින් ඉදිවූ අනුරාධපුර ථූපාරාමය හැඳින්විය හැක. නමුත් ස්ථූපයේ ඓතිහාසික විකාශය අනුව චෛත්‍ය කර්මාන්තය ථූපාරාමයෙන් ඔබ්බට විහිද යන බව දැකිය හැක.ඒ අනුව මහියංගනය සහ තිරියාය ලංකාවේ ප්‍රථම දාගැබ් 2 ලෙස සැලකිය හැකි බව ඇම්:එච්: සිරිසෝම මහතා ප්‍රකාශ කරයි. මුල්කාලීනව ලාංකික ස්තූප එතරම් විශාල නොවු අතර ක්‍රි:ව:2 වන ශතවර්ෂය වන විට විශාල ස්තූප තැනීමට යොමු වූ බවට රුවන්මැලි මහා සෑය කදිම නිදසුනකි. භාරතයේ හෝ අන් රටක දක්නට නොලැබෙන ඉතා විශිෂ්ඨ අංගයක් ලාංකික ස්තූපවලට එකතුවී තිබේ. ඒ වාහල්කඩයි. ලාංකික ස්තූපවලට එකතුවූ අනෙක් වැදගත්අංගය නම් වටදාගෙයයි. එය ගෘහනිර්මාණ ශිල්පයේ සුවිශේෂී නිර්මාණයක් ලෙස සඳහන් කළ හැක. කෙසේවුවද අනුරාධපුර ථූපාරාමයට අනතුරුව මිහිඳු මහරහතන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත්‍ කොට උත්තිය රජතුමා විසින් මිහින්තලය අම්බස්තල චෛත්‍යය ඉඳි කරන්නට යෙදුණි. සම්බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි බුදුරජාණන්වහන්සේ ලක්දිව කැලණියට වැඩි සේක. කිත්සිරිමෙවන් රජ දවස කැලණි විහාරය තනවා නිමකරන ලදී. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව ඒ ක්‍රි:ව: 301-328 අතර කාලයේය. අනතුරුව බුදුරජාණන්වහන්සේගේ වම් හකුවේ වම් දළදාව නිදන්කොට කාවන්තිස්ස රජු විසින් තිස්සමහාරාම චෛත්‍යය ඉදිකොට ඇත. කතරගම කිරිවෙහෙර ස්තූපය හා සබැඳි ජනප්‍රවාදයක් නම්, අද්‍යතනයේ කිරිවෙහෙර ස්තූපය ඉදිකර ඇති ස්ථානයේ වරක් පන්සියයක් මහරහතන්වහන්සේලා මහාසමාපත්තියට සමවැදී ධර්මය දේශනා කළ බවත් එවිටම මහපොළව දෙදරවා එම ස්ථානයේ මතු ආරක්‍ෂාව සඳහා "මහාඝෝෂ" නම් දෙව්රජකු පහළවූ බවත් වංශ කතා තොරතරු හෙළි කරයි. මෙහි එන "මහාඝෝෂ" නම් දෙව්රජ කතරගම දෙවියන්යැයි ජනප්‍රවාදයේ වැඩිදුරටත් සඳහන්වේ.


පසුකාලීනව එළාර රජු සමඟ පැවති යුද්ධය ජයග්‍රහණය කරන්නට යෙදුණු දුටුගැමුණු රජතුමා විසින් අනතුරුව රුවන්මැලි මහා සෑය ඉදිකරන්න ලදී' ස්වර්ණමාලී නොහොත් රත්නවල්ලි යන දෙවඟනක් මූලික කරගෙන මෙම ස්තූපය ස්වර්ණමාලී චෛත්‍යය නොහොත් රත්නවල්ලී හෝ රුවන්වැලි චෛත්‍යය නමින් එකල සිට ප්‍රචලිතය.

සද්ධාතිස්ස රජු විසින් ලක්දිව දකුණු දෙස දීඝවාපී ස්තූපය ඇතුළු තවත් ස්තූප රැසක් බිහිකර ඇත.

වළගම්බා රජතුමා ගිරිනිගණ්ඨයා සිහිවීම පිණිස අභයගිරි චෛත්‍ය සාදා නිමකරවන ලදී. අනුරාධපුර පිහිටි දක්‍ෂිණ ස්තූපයද මෙම රජතුමා විසින්ම නිර්මාණය කරවන ලද්දකැයි බොහෝ දෙනාගේ මතය වේ.


එමෙන්ම ක්‍රි:ව: 67-69 රාජ්‍ය කාලය තුළ ලංකාවේ අනුරාධපුර රාජ්‍ය කරවන ලද්දේ මහාදාටික මහානාග රජතුමාය. හෙතෙම ගෘහනිර්මාණය පිළිබඳ හසල දැනුම ඇත්තෙකි. හෙතෙම මිහින්තලය පර්වතය මුදුනේ "මහා සෑය" නම් චෛත්‍යයක් තනවනලදී. වසභ රජුද මෙ‍ම කාලයට සමගාමීව ස්තූප රැසක් ඉදි කළ අතර ථූපාරාමය සඳහා චෛත්‍ය ගෘහයක්ද එතුමාවිසින් තනවන ලදී. මෙම කාලසීමාව තුළම ගෝඨාභය රජතුමා විසින් අත්තනගල්ලේ චෛත්‍යයක් ඉදි කළ බවත් පැවසේ.

සමස්ථ ඉදිකිරීම ගඩොලින් නිමවා ඇති ආසියාවේ විශාලතම ස්තූපය වන ජේතවනාරාම යෝධ නිර්මාණය මහසෙන් රජතුමා විසින් සාදා නිමකරවන ලදී.

බෞද්ධ ස්තූපයක කොටස්

  1. චූඩා මාණික්‍යය
  2. කොත
  3. කොත් කැරැල්ල
  4. හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව
  5. ගර්භය
  6. වාහල්ක පැරණි
  7. පේසා වළලු
  8. සලපතල මළුව
  9. වැලි මළුව
  10. සඳකඩ පහන

ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන ස්තූප වර්ග

අද වන විට බෞද්ධ ස්තූපය ක්‍රමක්‍රමයෙන් විකාශනයවී විවිධ හැඩ සහ ආකෘති වලින් ස්තූප ගොඩනැගෙන්නට විය. ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ක්‍රි:ව:07 වන සියවසට අයත් මංජු ශ්‍රී වාස්තු විද්‍යා ශ්‍රාස්ත්‍රය‍ට අනුව ස්තූප වර්ග ප්‍රධාන වශයෙන් පහක් දක්නට ලැබේ. එහෙත් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ පහත ස්තූප වර්ග දක්නට ලැබේ.

01.ධාන්‍යාකාර

අභයගිරිය ස්තූපය.

වී ගොඩක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:- කැලණි ස්තූපය.

අභයගිරිය ස්තූපය.ජේතවනාරාම ස්තූපය.

ගොනුව:Demalamahaseya.jpg
පොළොන්නරුව දෙමළ මහා සෑය.

02.පද්මාකාර

නෙළුම් මලක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:-කොට වෙහෙර ධාතු ගර්භයෙන් හමුවූ චෛත්‍යය.

පොළොන්නරුව දෙමළ මහා සෑය. (මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව)


03.ඝණ්ටාකාර

ථූපාරාමය

ඝණ්ටාරයක හැඩයට තනන ලද ස්තූප මේ නමින්හඳුන්වනු ලැබේ. ආසියාව තුළ මේ හැඩයට තනන ස්තූප බෙහෙව්න් ජනප්‍රියතත්‍වයට පත්ව ඇත.

උදා:-11 සියවසට අයත් මහියංගණය ස්තූපය. (රෝලන්ඩ් සිල්වා මහතාගේ මතයට අනුව) අනුරාධපුර ථූපාරාම ස්තූපය.


04.බුබ්බුලාකාර

රුවන්මැලි මහාසෑය

දිය බුබුළක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:-ක්‍රි:පූ:2වන සියවසට අයත්රුවන්මැලි මහාසෑය. පොලොන්නරුව කිරිවෙහෙර ස්තූපය.රන්කොත් වෙහෙර.

05.ඝඨාකාර

කළයක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.මේ ආකාරයේ චෛත්‍ය හැඩය තිබ්බතයේ බෙහෙවින් ජනප්‍රිය ය.

උදා:-තිස්සමහාරාමයෙන් මේ ආකාරයේ ධාතු කරඬුවක් හමුවී ඇත. සිතුල්පව්ව ස්තූපය. සෝමාවතිය ස්තූපය. මඟුල්මහාවිහාරය ( යන මේ ත්‍රිත්ත්‍වයම මීට අයත් බව රෝලන්ඩ් සිල්වා මහතාගේ මතයයි.)

06.ආම්ලාකාර

නෙල්ලි ගෙඩියක හැඩය ගන්නා ස්තූප මේ ඝණයට අයත් වේ.

උදා:-දැදිගම කොට වෙහෙරින් හමුවූ ස්තූපය. (මහාචාර්ය චන්‍ද්‍රා වික්‍රමසිංහ මහතාගේ මතයට අනුව)

මීට අමතරව ශ්‍රී ලංකාව තුළ පහත ස්තූප වර්ගද දක්නට ලැබේ,

07.අණ්ඩාකාර:- බිත්තරයක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:-රුවන්මැලි සෑයෙන් මෙවැනි ස්තූපයක් හමුවී ඇත.(මහාචාර්ය චන්‍ද්‍රා වික්‍රමසිංහ මහතාගේ මතයට අනුව)

08.පලාජස්ඩවාකාර :- ළූණු ගෙඩියක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:- නැදිගමපල ස්තූපය.(රෝලන්ඩ් සිල්වා මහතාගේ මතයට අනුව)

09.චතුරස්‍රාකාර:- සමස්ථ ඉදිකිරීම චතුරස්‍රාකාරව/හතරැස්ව ගොඩනැගීම මෙ‍ම චෛත්‍ය වල විශේෂතත්‍වයයි.

උදා:-බුරුමය ස්වේදගොන් පැගෝඩා.(බෞද්ධ රටවල මෙම ස්තූප පැගෝඩා නමින් හඳුන්වයි.) අනුරාධපුර නකා වෙහෙර.

10.සිලින්ඩරාකාර:-සිලින්ඩරයක හැඩයට සමස්ථ ස්තූපයම ගොඩනැගීම මෙ‍ම චෛත්‍ය වල විශේෂතත්‍වයයි.

උදා:- අම්පාර දිස්ත්‍රික්කයේ කුඩුම්බිගලින් මේ ආකාරයේ ස්තූපයක් හමුවූ බව විමල් ජයරත්න මහතාගේ මතයයි.ඉන්දියාවේ කුසිනාරා නුවර සම්බුද්ධපරිනිර්වාණය සිදුවූ ස්ථාන‍යේමේ ආකාරයේ චෛත්‍යයක් දක්නටලැබේ.

11.අෂ්ටාකාර - අෂ්ටාකාරයට සාදා ඇති බව පෙනේ.

උදා:- අනුරුවක් වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යට අයත් වරුණගම පිහිටා තිබේ. ඒ 5 වන ගැමුණු හේවා බල ඇණි භූමියේ බවයි සඳහන් වන්නේ.

ස්තූප කිහිපයක් පිළිබඳ සාරාංශයක්

ස්තුප‍යේ නමඉදිකළ කාලයඉදි කළ පුද්ගලයාස්තූපයේ උසස්තූපයේ පරිධිය
අනුරාධපුර කිරිබත් වෙහෙ‍රක්‍රි:පූ:250-210දෙවනපෑතිස් රජුඅඩි30අඩි425
ථූපාරාමයදෙවනපෑතිස් රජුඅඩි63අඩි185
රුවන්මැලි මහා සෑයක්‍රි:පූ:161-137දුටුගැමුණු රජුඅඩි338අඩි339
මිරිසවැටිය ස්තූපයදුටුගැමුණු රජුඅඩි60අඩි339
අභයගිරියක්‍රි:පූ:89-77වළගම්බා රජුඅඩි245අඩි115
ලංකාරාමයවළගම්බා රජු-අඩි142
දකුණූ දාගැබවළගම්බා රජු-අඩි578
මිහින්තලය සේල චෛත්‍යයක්‍රි:ව:09-21මහානාග රජුඅඩි150අඩි700
මිහින්තලය කණඨක චෛත්‍යයක්‍රි:පූ:119ලජ්ජිතිස්ස රජුඅඩි40අඩි425
සේරු විල මංගල චෛත්‍යය-කාවන්තිස්ස රජුඅඩි100අඩි280
ජේතවන දාගැබක්‍රි:ව:276-303මහසෙන් රජුඅඩි232අඩි910
පොළොන්නරුව කිරි වෙහෙරක්‍රි:ව:1153-11861වන පරාක්‍රමබාහු රජුඅඩි95අඩි280
පොළොන්නරුව පබළු වෙහෙර-රූපවතී බිසවඅඩි40අඩි350
පොළොන්නරුව රන්කොත් වෙහෙරක්‍රි:ව:1187-1196නිශ්ශංක මල්ල රජුඅඩි 180අඩි550

මේනයින් බලන කල බුදු දහම මෙලොව පහල වූ දා පටන්ම ස්තූප යන්න බෞද්ධ ජන ජීවිතය හා බැඳෙන්නකි. මිහිඳු මාහිමි ලක්දිවට වැඩම කළදා පටන්ම මෙකී ස්තූප බෞද්ධ ජනී ජනයාගේ වන්ඳනාවට, නිර්මාණයට බඳුන් විණි. විහාරයකින්, ආරාමයකින් වියුක්ත වූ ගමක් නගරයක් මෙ සිරිලක තුළ දැකිය නොහැක්කා සේම මෙකී විහාරාරාම කිනම්හෝ ආකෘතියකට අයත් ස්තූපයකින් වියුක්ත වන්නේ නොවේ.

පාදක සටහන්

  • "බෞද්ධ ස්තූප මූලාරම්භය සහ විකාශනය පිළීබඳ මත කිහිපයක්",ඇම්:ඒ: චන්දන රණවීර, සිළුමිණ පුන් කලස,2010/04/18.
  • "බෞද්ධ ස්තූප", රාජ් මාමා, විජය ,2002/08/06.

ආශ්‍රිත ලිපි

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය