හිම වලසා

හිම වලසා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය:Animalia
වංශය:Chordata
වර්ගය:Mammalia
ගෝත්‍රය:Carnivora
කුලය:Ursidae
ගණය:'Ursus'
විශේෂය:U. maritimus
ද්වීපද නාමය
Ursus maritimus
ෆිප්ස්, 1774[1]
හිම වලසුන් පරාස
පර්යාය නාම(ය)

Ursus eogroenlandicus
Ursus groenlandicus
Ursus jenaensis
Ursus labradorensis
Ursus marinus
Ursus polaris
Ursus spitzbergensis
Ursus ungavensis
Thalarctos maritimus

හිම වලසා (Ursus maritimus) වනාහි වලස් පවුලට අයත් උත්තර ධ්‍රැවය ආශ්‍රීතව වාසය කරන සත්ව විශේෂයකි. හිම වලසා ලෝකයේ විශාලතම වලස් විශේෂය වන අතර, ගොඩබිම වාසය කරන විශාලතම මාංශ භාක්ෂකයන්ද වේ.[2] වැඩුණු පිරිමි වලසෙකු බරින් 350–700 කිලෝග්‍රෑම් (රාත්තල් 770–1,500) පමණද,[3] වැඩුණු වලහින්නියක එම බරින් බාගයක් පමණද වේ. හිම වලසා හා දුඹුරු වලසා අතර ඉතා සමීප සම්බධතාවයක් පවතියද, හිම වලසුන් සීත දේශගුණයට සරිලන පරිදි පරිණාමය වී ඇත. ඔවුන්ගේ දේහයන් සීත දේශගුණය දරාගැනීමට, හිම මත ඇවිදීමට, පිහිනීමට හා සීල් මත්ස්‍යයින් දඩයම් කිරීමට අනුවර්තනය වී ඇත.[4] හිම වලසුන් ගොඩබිමේ උපත ලැබුවත්, ඔවුන් ජලයේ වාසය කිරීමට ප්‍රිය කරති. ඔවුන්ගේ විද්‍යාත්මක නාමයේ අර්ථය වන්නේද ‘මුහුදුබඩ වලසා’ යන්නයි.[5] හිම වලසුන්ට සීල් මත්ස්‍යයින් දඩයම් කල හැක්කේ මුහුදු ජලය මිදුන කාල වලදී පමණි. අනෙක් කාල වලදී ඔවුන් ජිවත් වන්නේ ශරීරයේ මේද තැන්පතු වලිනි.ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN) මගින් හිම වලසුන් ‘අන්තරායට ලක්විය හැකි’ ගණයට වර්ගීකරණය කර ඇත. දැනට හිමවලසුන්ගේ උපසංගහන 19 ක් අතරින් 8 ක ගහනය හීනවෙමින් පවතී.[6] මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය දශකය තුල හිම වලසුන් මහා පරිමානයෙන් දඩයම් කිරීමයි. මේ පිලිබදව ජාත්‍යන්තර අවධානය යොමුවීමත් සමග හිම වලසුන් සංගහනය සංරක්ෂණය උදෙසා නොයෙකුත් පාලනවිධි හා කොටාවන් ක්‍රියාත්මකවීමෙන් අද වන විට හිම වලසුන් සංගහනය ආරක්ෂා කිරීමට හැකිවී ඇත. වසර දහස් ගණනක් තිස්සේ හිම වලසුන් ස්වදේශීය ආක්ටික් ජනතාවගේ ජිවිතවල භෞතික, අධ්‍යාත්මික හා සංස්කෘතික සලකුණක් බවට පත්වී ඇත.

නම් තැබීම

ප්‍රථම වරට හිම වලසුන් ස්පෂ්ට සත්ව විශේෂයක් ලෙස හදුනාගත්තේ කොන්ස්ටන්ටයින් ජෝන් ෆිප්ස් (Constantine John Phipps) විසින් 1774 වර්ෂයේදීය.[7] ඔහු විසින් හිම වලසුන් Ursus maritimus (ලතින් භාෂාවෙන් “මුහුදුබඩ වලසා”) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලැබි ය. පෙරාතුව හිම වලසුන් Thalarctos[8] නම් සත්ව ගණයක් ලෙස හැදුන්වූ අතර පසුව එය නිෂ්ප්‍රභා කෙරුණි. හිම වලසා හා දුඹුරු වලසා අතර ඉතා සමීප සම්බධතාවය පිලිබදව සාක්ෂි සොයාගැනීමෙන් අනතුරුව, හිම වලසුන් සත්ව 'ගණයක්' නොවනබවත්, දුඹුරු වලසා පරිණාමික අපසරණයෙන් ඇතිවූ ස්පෂ්ට සත්ව 'විශේෂයක්' බවත් සොයාගන්නා ලදී.[9]

වර්ගීකරණය හා පරිණාමය

Ursidae වලස් පවුල අනෙකුත් මන්ෂබක්ෂකයන්ගෙන් වසර මිලියන 38 කට පමණ පෙර වෙන්වී ගොස් ඇත. Ursinae උපකුලය වසර මිලියන 4.2 කට පමණ පෙර ආරම්භ වී ඇත. ලෝකයේ දැනට හදුනාගෙන ඇති පැරණිතම හිම වලස් ෆොසිලය වසර 130,000-110,000 ක් පමණ පැරණි උඩු හනුවකි. මෙය 2004 වර්ෂයේදී Prince Charles Foreland නම් දුපතෙන් හමුවිය.[10] මෙම ෆොසිලය මගින් හදුනාගත් සාධක අනුව හිම වලසුන්ගේ චාර්වක දත් මීට අවුරුදු දසදහසකට හෝ විසිදහසකට පමණ පෙර දුඹුරු දත් වලින් අපසරණය වූ බවට සාක්ෂි ඇත. හිම වලසුන් Pleistocene යුගයේ ග්ලාසියරණ අවස්ථාවේ දුඹුරු වලසුන්ගෙන් පරිනාමිකව අපසරණය වූ බවට දැනට පිළිගනී.[11]

DNA පරීක්ෂණවලින් හමුවන සාක්ෂි මීට වඩා සංකීර්ණ වේ. හිම වලසුන්ගේ මයිටකොන්ඩ්‍රිය DNA (mtDNA) දුඹුරු වලසුන්ගෙන් Ursus arctos, විභේදනය වුයේ මීට වසර 150,000 කට පමණ පසුවය.[10] එමෙන්ම සමහර දුඹුරු වලසුන්ගේ mtDNA, අනෙක් දුඹුරු වලසුන්ට වඩා හිම වලසුන්ට කිට්ටු සම්බන්ධතාවක් දක්වති.[12] මේ නිසා සමහර සංකල්පවලට අනුව හිම වලසුන් ස්පෂ්ට සත්ව විශේෂයක් ලෙස හදුන්වනු නොලබති.[13] අයර්ලන්තයේ වෙසෙන දුඹුරු වලසුන්ගේ mtDNA හිම වලසුන්ට ඉතා සමාන වේ.[14] හිම වලසුන්ගේ න්‍යෂ්ඨික ජෙනෝමය දුඹුරු වලසුන් හා සංසන්දනයේදී වෙනස් රටාවන් පෙන්නුම් කරති. මොවුන් ජානමය වශයෙන් වෙනස් ජීවින් විශේෂ 2ක් බවට විභේදනය වී ඇත්තේ වසර 603,000 ට පමණ පෙරදී ය.[15] නුතන පර්යේෂණවලදී හිම වලසුන්ගේ, දුඹුරු වලසුන්ගේ හා කළු වලසුන්ගේ සම්පුර්ණ ජෙනෝමය පරික්ෂා කරන ලදී(අතීතයේදී සිදු කරනු ලැබූ මයිටකොන්ඩ්‍රිය හා පාර්ශ්වික ජෙනොම පරික්ෂා පමණි). එහිදී හිම වලසුන් මීට වසර මිලියන 4-5 ට පමණ පෙර දුඹුරු වලසුන්ගෙන් පරිණාමය වූ බවට හදුනාගෙන ඇත.[16]

හිම වලසුන් හා දුඹුරු වලසුන් අතර අන්තර් අභිජනනයෙන් පැටවුන් බිහි කල හැක. ග්‍රීෂ්ම ඍතුවේදී හිම වලසුන් ගොඩබිම ප්‍රදේශයටද, දුඹුරු වලසුන් උතුරු දෙසටද සංක්‍රමණය වන අවස්ථාවලදී මොවුන් සංසර්ගයේ යෙදෙති. බොහෝ දුඹුරු වලසුන් හට 2% පමණ හිම වලසුන්ගේ ජාන ඇති නමුත් ඇලෙක්සැන්ඩර් කොදෙව් දුපත් ආශ්‍රිතව වාසය කරන දුඹුරු වලසුන් සංගහනයෙන් හිම වලස් ජාන 5% ත් 10% ත් අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. මින් පෙන්නුම් කරන්නේ එම ප්‍රදේශවල දුඹුරු වලසුන් හා හිම වලසුන් අතර අන්තර් අභිජනනයන් බහුලව සිදුවන බවය.[17] මෙම අන්තර් අභිජනන මගින් සරු දෙමුහුම් වලසුන් බිහි වේ.[11][18] නවතම සාක්ෂි යෝජනා කරන්නේ හිම වලසුන්ගේ හා දුඹුරු වලසුන්ගේ අතර ජානමය සමානභාවයට හේතුව ඔවුන් දිගු කාලයක් තිස්සේ අන්තර් අභිජනනය කිරීමය.[17] එනමුදු මෙම විශේෂයන් ජිවත් වන පරිසරය, රූපකාය, පරිවෘත්තීය ක්‍රියාවලි, සමාජ චර්යා, භෝජන රටා හා අනෙකුත් රුපනුදර්ශිය ලක්ෂණ එකිනෙකාගෙන් වෙනස් වන නිසා ඔවුන් ජීවින් විශේෂ 2ක් ලෙස වර්ගීකරණය කරනු ලබති.[19]

හිම වලසුන් ප්‍රථමවරට ලේඛනගත කිරීමේදී උපවිශේෂ 2ක් හදුනාගනු ලැබිණි. 1774 වර්ෂයේදී කොන්ස්ටන්ටයින් ජෝන් ෆිප්ස් (Constantine John Phipps) විසින් Ursus maritimus maritimus එක් උපවිශේෂයක් ද, පීටර් සයිමන් පැලස් (Peter Simon Pallas) විසින් 1776 වර්ෂයේදී Ursus maritimus marinus නම් උපවිෂේශයක්ද හදුනා ගන්නා ලදී.[20] නමුත් පසු කාලයක මෙම උපවිශේෂයන් නිෂ්ප්‍රභා විණි. අද වනවිට එක් හිම වලස් උපවිශේෂයක් පිලිබදව පමණක් සාක්ෂි ලැබී ඇත. Ursus arctos විශේෂයෙන් පැවතෙන Ursus maritimus tyrannus නම් උපවිශේෂය Pleistocene යුගයේදී වදවී ගියහ. මෙම උපවිශේෂය දැනට වෙසෙන හිම වලසුන්ට වඩා සැලකිය යුතු ලෙස විශාලත්වයෙන් වැඩි වේ.[11]

සංගහනය හා ව්‍යාප්තිය

කුතුහලයෙන් යුතු හිම වලසුන් USS Honalulu සබ්මැරීනය පරික්ෂා කරමින්.

හිම වලසුන් ආක්ටික් වෘත්තය හා ඒ ආශ්‍රීත භුමි කලාපවල ව්‍යාප්තව ඇත. උත්තර ධ්‍රැවයයේ ජනශුන්‍යබාවය හේතුකොට ගෙන හිම වලසුන්ට තම ජන්මභුමි රදවාගැනීමට හැකියාව ලැබී ඇත.[21]කටුක දේශගුණය නිසා හිමවලසුන්ගේ ජන්ම භුමි පරික්ෂා කිරීම අපහසු කටයුත්තකි. මේ නිසා හිමවලසුන්ගේ සංගහනය නිසැක වශයෙන් ඇස්තමේන්තු කිරීම අපහසු වේ. ජීව විද්‍යාඥයන් අනුමාන කරන අන්දමින් දැනට ලොව වටා හිම වලසුන් 20000-25000 පමණ ජීවත් වේ.[22][23]හිම වලසුන්ගේ උපසංගහන 19 ක් දැනට හදුනාගෙන ඇත.[23][24] මෙම උපසංගහන අතර අන්තර් අභිජනනයෙන් පැටවුන් බිහිකල හැක.[25] හිම වලසුන්ගේ සංගහනයෙන් 70% ක් උතුරු ඇමරිකාවේ වාසය කරන අතර ඊට උපසංගහන 13 ක් අයත් වේ. බ්යුෆෝර්ට් මුහුදේ සිට දකුණු දිශාවට හඩ්සන් බොක්ක දක්වාද, නැගෙනහිර දිශාවට ග්‍රීන්ලන්තයේ බැෆ්ෆින් බොක්ක දක්වාද, උතුරු ඇමරිකාවේ හිම වලසුන් ව්‍යාප්තවී ඇත. ආසියානු-යුරෝපිය ප්‍රදේශයේ ග්‍රීන්ලන්තය, බරෙන්ට්ස් මුහුද, කාරා මුහුද, ලප්ටෙව් මුහුද හා චුක්චි මුහුද ලෙස උපසංගහන 5 ක් දැනට හදුනාගෙන ඇත. සීමිත දත්ත නිසා මෙම උපසංගහන පිලිබදව වැඩිදුර විස්තර තවමත් සොයාගෙන නොමැත.

හිම වලසුන්ගේ නිජබිම් ප්‍රධාන වශයෙන් ඩෙන්මාර්කය, නොර්වේ, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව නම් රටවල් පහක් පුර ව්‍යාප්ත වී ඇත. මෙම රටවල් පහ අන්තර්ජාතික හිම වලසුන් සංරක්ෂණය කිරීමේ සම්මුතියට අත්සන් තබා ඇත. මෙම සම්මුතිය හරහා ඔවුන් හිම වලසුන් පිලිබදව පර්යේෂණ හා සංරක්ෂණ කටයුතු වලට අන්‍යෝන්‍ය සහයෝගිතාව පලකර ඇත. හිම වලසුන් නිරීක්ෂණය සදහා 1980 දශකයේ මැද භාගයේ සිට නවීන මිල අධික උපක්‍රම භාවිතවේ.[26] හෙලිකොප්ටර් යානා මගින් හා හිම වලසුන්ගේ වාසභුමි නිරීක්ෂණය කිරීම හා හිම වලසුන්ගේ කනේ ඉලෙක්ට්‍රොනික හදුනාගැනීමේ සම්බන්ධකයක් සවිකිරීම මෑත කාලයේදී හිම වලසුන් නිරීක්ෂණයට යොදාගන්න ප්‍රචලිත ක්‍රම වේ.[26] මෑතක සිට සාගින්නෙන් පෙලෙන හිම වලසුන් ජනාවාස අසලට සංක්‍රමණය වී ඇත. මෙම කරුණ නිසා ‘හිම වලසුන්ගේ ගහනය වැඩි වී ඇතැයි’ විශ්වාස කිරීම නිවැරදි නොවේ.[26] ඔවුන් මෑත කාලයේ වැඩිපුර ජනාවාස අසල දක්නට ලැබෙන්නේ ඔවුන්ගේ ගහනය වැඩිවීමක් නිසා නොව, ඔවුන්ට ප්‍රමාණවත් ආහාර නොමැති නිසාවෙනි. 2009 වර්ෂයේදී හිම වලස් උපසංගහන 19න්, 8 ක ගහනය ක්‍රමයෙන් අඩු වෙමින්ද, 3 ක ගහනය ස්ථාවර මට්ටමකද, 1 ක ගහනය ක්‍රමයෙන් වැඩි වෙමින්ද පවතින අතර, උපසංගහන 7 ක් පිලිබදව ප්‍රමාණවත් දත්ත වාර්තාවී නොමැත.[6][23]

වාසභූමිය

නිදැල්ලේ වෙසෙන හිම වලසෙක්.

හිම වලසුන් මුහුදු ක්ෂීරපායි විශේෂයකි.[27] ඔවුන්ගේ සුපුරුදු වාසභූමීන් ආක්ටික්හී අයිස් මිදුණු මහද්වීපික තටාක හා කුඩා දුපත් සමුහයන් වේ. මෙම ප්‍රදේශ “ආක්ටික් ජෛව වළල්ල” නමින් හැදින්වෙන අතර මෙහි ජෛව ක්‍රියාකාරිත්වය ආක්ටික්හී අනෙකුත් ප්‍රදේශ හා සැසදීමේදී ඉතා ඉහල අගයක් ගනී.[21][28] හිම වලසුන් බොහෝවිට හැසිරෙන්නේ අයිස් තට්ටු, මුහුදු ජලය හා ගැටෙන ස්ථානවලය.[29] එයට හේතුව මෙම ස්ථානවල හිම වලසුන්ගේ ප්‍රියතම ආහාරය වන සීල් මත්ස්‍යයින් බහුලව ගැවසිමයි. හඩ්සන් බොක්ක හා ජේම්ස් බොක්ක ආශ්‍රීතව අයිස් කුට්ටි ග්‍රීෂ්ම ඍතුවේදී සම්පුර්ණයෙන් දියවී යයි. මේ නිසා මෙම කාලයේදී හිම වලසුන් ගොඩබිම දෙසට සංක්‍රමණය වේ.[28]

ජීව විද්‍යාව හා චර්යාව

භෞතික ලක්ෂණ

හිම වලසා ලෝකයේ විශාලතම භෞමික මාංශ භක්ෂකයා වන අතර, සයිබිරියානු ව්‍යාඝ්‍රයාට වඩා දෙගුණයකින් විශාල වේ.[30] වැඩුණු පිරිමි වලසකු සාමාන්‍යයෙන් බරින් කිලෝග්‍රෑම් 350 - 700 (රාත්තල් 770 – 1500) හා දිගින් මීටර 2.4 – 3 (අඩි 8 – 10) ක් පමණද වේ.[31] වැඩුණු වැලහින්නියක් බරින් කිලෝග්‍රෑම් 150 – 250 (රාත්තල් 330 - 550) හා දිගින් මීටර 1.8 – 2.4 (අඩි 6 – 8) පමණද වේ. ගර්භනී වැලහින්නියක් බරින් කිලෝග්‍රෑම් 500 (රාත්තල් 1100) පමණ වේ.[31] එමෙන්ම වැඩුණු හිම වලසෙකු උසින් සෙන්ටිමීටර 122 – 160 (අගල් 48 – 63) පමණ වේ.[32][33]

දුඹුරු වලහා සමග සැසදීමේදී හිම වලහාට දිගටි සිරුරක්, දිගටි හිස්කබලක් හා දිගටි නාසයක්ද ඇත.[19] හිම වලසුන්ගේ පාද විශාල වන අතර මෙය හිම හා තුනී අයිස් තට්ටු මත ඇවිදීමට හා පිහිනීමේදී ඉදිරියට තල්ලු කිරීමටද උපකාරී වේ. ඔවුන්ගේ පාද කුඩා ගැටිති වලින් සම්න්විත වේ. මෙම ගැටිති මගින් හිම මත ඝර්ෂනය වැඩිකිරීම හේතුවෙන් ඇවිදීමට පහසු වේ.[19] හිම වලසුන්ගේ කෙටි හා ශක්තිමත් නිය ගොදුරු අල්ලාගැනිමට උපකාරී වේ.[19] ඔවුන්ගේ යටි අතට වක්වූ නිය අයිස් හැරීමට උපකාරී වේ.

හිම වලසුන්ට දත් 42 ක් පිහිටයි.[19] ඔවුන්ගේ රදනක දත් විශාල හා මුවහත් වන අතර එමගින් ඔවුන්ගේ මාංශ භක්ෂකතාව මැනවින් පිළිබිඹුවේ.[19] හිම වලසුන්ගේ උඩු ඇන්දේ දන්ත සුත්‍රය 3.1.4.2 වන අතර පහත ඇන්දේ දන්ත සුත්‍රය 3.1.4.3 ක් වේ.

හිම වලසුන්ට ඝන මේද තට්ටුවක්, සමක් හා ලෝම ස්තරයක් ඇත. මේවා ශරීරයේ තාප හානිය අවම කර ශරීරය උණුසුම් කිරීමට උපකාරී වේ. හිම වලසුන්ගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 (ෆැරන්හයිට් අංශක 50)ක් අභිබවා ගියහොත් ශරීරය අධික ලෙස රත් වේ. මොවුන්ගේ ශරීර උෂ්ණත්වය කෙතරම් කුඩාද යත්, අධෝරක්ත ඦායාරුපවලට ඔවුන්ගේ ශරීර උණුසුම හසුවන්නේ නැත.[34] හිම වලසුන්ගේ ඝන ලෝම ස්තරය සුදු පාටට හුරු වේ. මැයි සිට අගෝස්තු මාසය දක්වා ඔවුන්ගේ ලොම් සැලීම සිදුවේ.[35] අනෙකුත් ආක්ටික් ක්ෂීරපායින් මෙන් හිම වලසාගේ ග්‍රීෂ්ම ඍතුවේදී ලෝම වේශාන්තරණය උදෙසා තද පැහැයට හැරීමක් සිදුනොවේ.

පිහිනමින් සිටින හිම වලසෙක්.

හිම වලසුන්ගේ සුදු පැහැති ලොම් වැස්ම කාලයත් සමග කහ පැහැයට හැරේ. කූඩුගත කර සිටින හිම වලසුන්ගේ ලෝම සමහර අවස්ථා වලදී ලා කොළ පැහැයට හැරේ. මීට හේතුව ඇල්ගී විශේෂයක් ලෝම අතර වැඩීමයි.[36] පිරිමි වලසුන්ගේ ඉදිරිපස ගාත් වල ලෝම දිගට වැඩෙන අතර, මෙය වැලහින්නියන් ආකර්ෂණයට උපකාරී වේ.[37]

හිම වලසුන්ට ගද සුවද හදුනාගැනීමේ තීව්‍ර හැකියාවක් ඇත. ඔවුන්ට කිලෝ මීටර 1.6 ක් දුරින් ඇති හෝ මීටරයක් ගැඹුරින් පිහිටි සීල් මතස්‍යයින් හදුනාගත හැක.[38] ඔවුන්ට මිනිසාට සමාන ශ්‍රවණ සංවේදනයක් ඇති අතර, හොදින් දුර පෙනීමේ හැකියාවක්ද ඇත.[38]

හිම වලසුන් ඇති දක්ෂ පිහිනුම් කරුවන් වන අතර ගොඩබිම සිට කිලෝමීටර 300 (මීටර 200)ක් පමණ දුර ආක්ටික් මුහුදේ පිහිනමින් සිටින හිම වලසුන් සොයාගැනීමට ලැබී ඇත. හිම වලසුන්ගේ ශරීරයේ තැන්පත් වී ඇති මේද තට්ටුව උත්ප්ලාවකතාවයක් ලබාදෙමින් පිහිනීමට උපකාරී වේ.[39] හිම වලසුන්ට පැයට කිලෝමීටර 10 (පැයට හැතැප්ම 6) ක වේගයෙන් පිහිනිමටද, පැයට කිලෝමීටර 5.6 (පැයට හැතැප්ම 3.5) ක වේගයෙන් ඇවිදිමටද,[39] පැයට කිලෝමීටර 40 (පැයට හැතැප්ම 25) ක වේගයෙන් දිවිමටද හැකියාවක් ඇත.[40]

දඩයම් කිරීම හා ආහාර පරිභෝජනය

හිම වලසුන්ගේ දිගු හොස්ස හා ගෙල සීල් මතස්‍යයින් සිටින ගුහා පරික්ෂා කිරීමට උපකාරී වන අතර, ඔවුන්ගේ ශක්තිමත් ඉදිරි ගාත් ගොදුරු ඇදගෙන යාමටද උපකාරී වේ.[41]

හිම වලසා යනු වලස් පවුලට අයත් අතිශයින්ම මාංශ භක්ෂක සාමාජිකයාය. ඔවුන්ගේ ප්‍රියතම ආහාරය සීල් මතස්‍යයින්ය.[42] සීල් මතස්‍යයින් හුස්ම ගැනීමට හෝ අයිස් මත විවේක ගැනීමට ගොඩබිමට පැමිණීමේදී හිම වලසුන්ගේ ගොදුරු බවට පත්වේ.[41] හිම වලසුන් වැඩිපුරම දඩයම් කරන්නේ අයිස් තට්ටු ජලය හා මුසුවන කෙලවරවල් වලය.[43]

හිම වලසුන් විශිෂ්ට ගන්ධ සංවේදනය මගින් සීල් මතස්‍යයින් සිටින ස්ථාන හදුනාගත හැක.ඔවුන් නිසොල්මන්ව ගොදුර ලං වනතුරු ජල තටාක අසල බලාසිටිති.[44] සීල් මතස්‍යයින් හුස්ම ගැනීමට ජාල පෘෂ්ටය අසලට පැමිණීමේදී ඔවුන්ගේ ප්‍රශ්වාස වාතය හිම වලසාට හදුනාගත හැක. එවිට හිම වලසුන් ඔවුන්ගේ ඉදිරිගාත් ජාල තටාකයට දමා සීල් මතස්‍යයින් ගොඩබිමට ඇද දමති. ඉන්පසුව ඔවුන්ගේ ශක්තිමත් දත් මගින් සීල් මතස්‍යයින් හිස සපා කුඩු කර මරා දමති. මීට අමතරව ගොඩබිම විවේක ගන්නා සීල් මතස්‍යයින් ලුහුබදිමෙන්ද, සීල් මතස්‍යය කැදලි වලට කඩා පැනිමෙන්ද සීල් මතස්‍යයින් ගොදුරු කරගැනීමට හිම වලසාට හැකිය.[44]

තල්මසෙකුගේ මළකුණක් අසල සිටින හිම වලසෙක්

වැඩුණු වලසුන් කැමට ප්‍රිය කරන්නේ සීල් මතස්‍යයින්ගේ කැලරි පිරි මාංශ හා මේද තැන්පතු ය. නමුත් කුඩා වලසුන් ප්‍රෝටීන් අනුන රතු පැහැති මාංශ කැමට ප්‍රිය කරති.[41] මීට අමතරව හිම වලසුන් කුරුළු පැටවුන් හා කුරුළු බිත්තරද ආහාරයට ගනිති.[45] මවගෙන් වෙන්වූ යොවුන් හිම වලසුන් හට තනිව දඩයම් කිරීම ඉතා පහසු කටයුත්තක් නොවේ. මේ නිසා ඔවුන්ට අනිකුත් හිම වලසුන් කා දමා අත්හැර දැමු මළකුණු වල කොටස් ආහාරයට ගැනීමට සිදුවේ. එසේම යොවුන් හිම වලසුන් දඩයම් කිරීමට සාර්ථක වුවද, සමහර අවස්ථාවලදී වැඩුණු හිම වලසුන්ගෙන් දඩයම බේරා ගැනීමට අසමත් වේ. එවිට ඔවුන්ට සිදු වන්නේ වැඩුණු වලසුන්ගෙන් ආහාර ගෙන හමාර වනතුරු බලාසිටිමටය. ආහාර ගැනීමෙන් පසු හිම වලසුන් හිම හෝ ජලය උපයෝගයෙන් තම ශරීරය පිරිසිදු කරගනිති.[39]

හිම වලසුන්ගේ ලාක්ෂණික ඉරියව්:
1. - විවේකයෙන් සිටින විට;
2. - විමසිල්ලෙන් සිටින විට;
3. - දඩයම් කිරීමේදී

හිම වලසුන් ඉතා දක්ෂ මෙන්ම ශක්තිමත් විලෝපිකයන් වෙති. හිම වලසකුට තම දේහ ස්කන්ධය මෙන් දෙගුණයක් බරින් යුතු මුහුදු ඇතෙකු දඩයම් කලහැක.[46] එසේම මුහුදු ඇතාට සමාන ස්කන්ධයෙන් යුතු බෙලුගා තල්මසුන් දඩයම් කිරීමටද හිම වලසුන්ට හැකියාව ඇත. නමුත් ඔවුන්ගේ සිරුරු ඉතා ඉක්මණින් රත්වන නිසා හිම වලසුන්ට වැඩිදුර දිවීමේ හැකියාවක් නොමැත.

ගැබිණි වලහින්නියන් හැරෙන්නට අනෙකුත් වලසුන් අවුරුද්ද පුරාම ක්‍රියාශීලි වෙති.[47] කළු වලසුන් (black bear) හා දුඹුරු වලසුන් (brown bear)මෙන් නොව, හිම වලසුන් හට කෑම නොමැතිව මාස කිහිපයක් වුවද සිටිය හැක. මීට හේතුව ග්‍රීෂ්ම ඍතුව හා සරත් ඍතුව මුලදී අයිස් දියවී යාමෙන් හිම වලසුන් හට සීල් මතස්‍යයින් දඩයම මගහැරිමය.[47] මෙම කාල වලදී ඔවුන් තම සිරුරුවල මේද තැන්පතු දහනයෙන් ශක්තිය ලබා ගනිති.[34] හිම වලසුන් සීල් මතස්‍යයින්ට අමතරව පිනි මුවන්, කුරුල්ලන්, බිත්තර, සිප්පි බෙල්ලන්, කකුළුවන්, කාන්තකයන් හා හිම වලස් පැටවුන්ද ආහාරයට ගනිති. මීට අමතරව ඔවුන් ශාකමය ද්‍රව්‍ය, බෙරි වර්ග, මුල් වර්ග හා මුහුදු පැළෑටි සුළු වශයෙන් පරිභෝජනයට ගනිති.[46] හිම වලසුන් මාංශ භක්ෂක වීමට එක් හේතුවක් වන්නේ, ශාකමය ද්‍රව්‍යවලින් ඔවුන්ට ප්‍රමාණවත් කැලරි සංඛ්‍යාවක් ලබාගැනීමට නොහැකි වීමයි. ඔවුන්ගේ ශරීරය හැඩගැසී ඇත්තේ මේද තැන්පතු වලින් අධික මුහුදු ක්ෂීරපායින් ආහාරයට ගැනීමටය.[48][49]

ජනාවාස අසල වාසය කරන හිම වලසුන් මිනිසුන් අපතේ දමන කැලි කසළ ආහාරයට ගැනීමට පුරුදුව ඇත.[46] මෙම කැලි කසළ අතර හිම වලසුන්ට අනතුරුදායක ද්‍රව්‍ය වන ස්ටයිරෆොම්, ප්ලාස්ටික්, වාහන වල බැටරි, ලිහිස්සු තෙල් හා එතිලින් ග්ල්යිකොල් අඩංගු වේ.[46][50] මේවා හිම වලසුන් පරිභෝජනයට ගැනීමෙන් විවිධ රෝගාබාධ මෙන්ම මරණයන්ද සිදුවිය හැක. මේ නිසා ජනාවාස අසල වෙසෙන ජනතාව කැලි කසළ ප්‍රතිචක්‍රීකරණය කර නිසි ලෙස බැහැර කිරීමට වග බලාගත යුතුය.

හැසිරීම

බොහෝවිට හිම වලසුන් අතර සෙල්ලක්කාරී ගැටුම් ඇති වේ. ඔවුන් අතර සැබෑ ගැටුම් ඇතිවන්නේ සංසර්ගයේ යෙදෙන සමයන්හිදී ය.

අළු පැහැති වලසුන් (grizzly bear) මෙන් හිම වලසුන් දේශ සිමාවන් ආරක්ෂා කරන්නේ නැත. සාමාන්‍යයෙන් හිම වලසුන් රණ්ඩු සරුවල් කිරීමට මැලිවන අතර බොහෝ අවස්ථාවලදී සටන් නොකර පලායාමට උත්සහ දරති.[51] සාගින්නෙන් පෙලෙන හිම වලසුන්ගේ හැසිරීම ඉතා අවිනිශ්චිතය. ඔවුන් මිනිසුන්ට පහරදි මරා දැමු හා ආහාරයට ගත් අවස්ථා කීපයක් දැනට වාර්තාවී ඇත.[52] නමුත් ආක්ටික් වෘත්තයේ මිනිස් ජනගහනය ඉතා පහල නිසා මෙවැනි අවස්ථා ඉතා දුර්ලභ වේ.

වැඩුණු හිම වලසුන් සාමාන්‍යයෙන් හුදකලා ජිවිත ගත කිරීමට ප්‍රිය කරති. නමුත් බොහෝවිට හිම වලසුන් එකිනෙකා සමග සෙල්ලම් කරමින් හා එකිනෙකා සමග තුරුල් වෙමින් නිදාගන්නා අයුරු දැකගත හැක.[52] හිම වලසුන් පිළිබද විශේෂඥ වෛද්‍ය නිකීටා ඔව්සිඅනිකොව් (Nikita Ovsianikov) පවසන්නේ වැඩුණු හිම වලසුන් හොද සමාජ සබදතා පවත්වා ගෙන යන බවයි.[51] විශේෂයෙන්ම කුඩා පැටවුන් සමාජශීලි වන අතර ඔවුන් තම සහෝදර සහෝදරියන් සමග කෙළිදෙලෙහි යෙදෙමින් කාලය ගතකරති. යොවුන් පිරිමි වලසුන් අතර සෙල්ලක්කාරී ගැටුම් ඇති වේ. මෙම අත්දැකීම් ඔවුන්ට පසු කාලයේදී සංසර්ග වකවානු වල වැලහින්නියන් ආකර්ෂණය කරගැනීමට උපකාරී වේ.[53]

ප්‍රජනනය හා ජිවන චක්‍රය

හිම වලස් පැටවුන් අවුරුදු දෙකහමාරක් පමණ වන තුරැ මවගේ පිළිසරණයෙන් ජිවත් වේ.

අප්‍රේල් හා මැයි මාසවල හිම වලසුන් දඩයම් කිරීමට එක්රැස් වන ස්ථානවල සංසර්ගය සිදුවේ.[54] පිරිමි වලසෙකුට වැලහින්නියක් සොයා කිලෝමීටර 100ක් (සැතපුම් 60) හෝ ඊට වඩා චාරිකා කල හැක. ඇය සොයාගැනීමෙන් පසු පිරිමි වලසා වෙනත් වලසුන් සමග සටන් කිරීමෙන් ඇයව දිනාගත යුතුය. මෙම සටන්වල ප්‍රථිපලයක් වශයෙන් බොහෝ වලසුන්ට තුවාල සිදුවේ.[54] වැලහින්නියක් සාමාන්‍යයෙන් පිරිමි වලසුන් කීපදෙනෙකු සමග සංසර්ගයේ යෙදෙති. මෑත කාලයේ සිදුකරන ලද පරීක්ෂණ මගින් එකම මවට දාව වෙනස් පියවරුන්ගේ පැටවුන් සොයාගෙන ඇත..[55] මෙසේ හමුවන වලස් යුවලක් සතියක් පමණ කාලයක් එකට වසමින් කීපවරක් සංසර්ගයේ යෙදෙති. මෙය වැලහින්නියන්ගේ ඩිම්බනිහරණය උත්තේජනය කරයි.[56]

සංසර්ගයෙන් පසු සාරවත් ඩිම්බ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන තුරු සැලකිය යුතු වර්ධනයක් නොපෙන්වයි. මෙම මාස 4 තුල වැලහින්නියන් අතිවිශාල ආහාර ප්‍රමාණයක් පරිභෝජනය කරමින් තම සිරුරේ බර ආසන්න වශයෙන් දෙගුණයකින් (කිලෝග්‍රෑම් 200 කින්) වැඩිකර ගනිති.[54]

මාතෘ ගුහා තැනීම හා මුල් අවදිය

අයිස් දියවිගෙන යන කාලයේදී ගැබිණි වැලහින්නියන් දඩයම අතහැර මාතෘ ගුහා සැදීම ආරම්භ කරති. මෙම ගුහා ඇතුල්වීම සදහා පටු උමගකින් හා කුටීර 1-3 කින්ද පමණ සමන්විත වේ.[54] හිම මත හෝ අයිස් මත සාදන මෙම ගුහා බොහෝවිට වසර කීපයක් පුරා නැවත නැවත භාවිතා වේ.[21] මෙම ගුහා තුල ගැබිණි වැලහින්නියන් සිසිර තරණයට (hibernation) සමාන අක්‍රිය තත්වයකට පත්වේ. මෙහිදී වැලහින්නියන් සිසිර තරණයේදී මෙන් නොකඩවා නිදා නොගනිති. නමුත් ඔවුන්ගේ හෘද ස්පන්දනය විනාඩියට ගැස්සුම් 46 සිට 27 ක් දක්වා අඩුවන අතර,[57] ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සිසිර තරණයේදී මෙන් අඛණ්ඩව පවතී.[34][58]

මව් කිරි උරන පැටවෙක්

නොවැම්බර් සිට පෙබරවාරි මාස ඇතුලත පැටවුන් බිහිවීම සිදුවේ. අලුත ඉපදුනු පැටවුන්ගේ දැස් නොපෙනෙන අතර ලා දුඹුරු පැහැති ලොම් ස්තරයකින් ආවරණයවී ඇත. ඉපදෙන විට ඔවුන්ගේ බර කිලෝග්‍රෑම් 0.9 (රාත්තල් 2) කට වඩා අඩුවේ.[56] මිනිස් භාරයේ සිටින වැලහින්නියන් ඉක්මණින් පැටවුන් ප්‍රසුත කරති. සාමාන්‍යයෙන් වැලහින්නියක් එක් වරකට පැටවුන් 2 කු පමණ ප්‍රසුත කරති.[54] පෙබරවාරි මැද සිට අප්‍රේල් මැද භාගය වනතුරු මව හා පැටවුන් ගුහාව තුල වාසය කරති. මෙම කාලය ඇතුලත මව් වැලහින්නිය නොකඩවා තම උපවාසය පවත්වා ගෙන යන අතරතුර තම පැටවුන් හට මව් කිරිද ලබාදෙති.[54] මව් වැලහින්නිය ගුහාවේ දොරටුව කඩා ගුහාවෙන් පිටතට යන්නේ ඇගේ පැටවුන් කිලෝග්‍රෑම් 10-15 ක් (රාත්තල් 22-23)පමණ වැඩුණු පසුවය.[54] ඉන්පසු ඉදිරි දවස් 12-15 අතර කාලයේදී ගුහාවට ආසන්න පරිසරයේ මව හා පැටවුන් කාලය ගත කරති. පැටවුන් ඇවිදීමට හා ඉගෙනගන්නා අතරතුර, මව අවට වෘක්ෂලතා ආදිය මත යැපෙයි.[54] මෙසේ සති දෙකක් පමණගත වූ පසු මව හා පැටවුන් සීල් මත්ස්‍යයින් දඩයම් කිරීමට මුහුදු බඩ ප්‍රදේශයට සංක්‍රමණය වේ.[54] ගැබිණි කාලයේදී සිට මෙම අවස්ථාව වනතෙක් වැලහින්නියක මාස 8ක පමණ කාලයක් නිරාහාරව සිටීමට සිදුවේ.[54]

වැලහින්නියන් තම පැටවුන් කෙරෙහි දැඩි ස්නේහයක් දක්වන අතර ඔවුන් හට දැඩි ආරක්ෂාවක් ලබාදෙති. නමුත් සමහර කුඩා පැටවුන් වෘකයන්ට ගොදුරු වීමෙන් හෝ හාමතෙන් මියයති. වැඩුණු පිරිමි වලසුන්ද සමහර අවස්ථාවලදී පැටවුන් මරදමා ආහාරයට ගනිති.[59]

පැටවුන් මවගෙන් වෙන්වන්නේ අවුරුදු 2.5 ක් පමණ වයස්ගතවූ පසුවය.[54] එවිට මව පැටවුන් අත්හැර දැමීම හෝ එලවා දැමීම සිදු කරයි. සමහර අවස්ථාවල මවගෙන් වෙන්වූ පැටවුන් එකට සංචාරය කරමින්, සති හෝ මාස ගණනක් එකට දඩයම් කරමින් ආහාර හවුලේ බුක්ති විදිති.[52]

වැඩුණු විය

හිම වැලහින්නියන් අවුරුදු 4-5 වන විටද,[54] පිරිමි හිම වලසුන් අවුරුදු 6 ක් වන විටද ලිංගික පරිණතභාවයට පත්වෙති. කෙසේ වුවද සහකාරියක් සොයාගැනීමේ උග්‍ර තරගය හේතුවෙන් පිරිමි හිම වලසුන් අවුරුදු 8ක් හෝ 10ක් වනතුරු ප්‍රජනනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.[54]

හිම වලසුන් ගොඩබිම වෙසෙන අනෙක් ජිවින්ට වඩා බෝවෙන රෝග හා පරපෝෂී ආසාදනවලට ගොදුරුවීමේ අවදානම අවමය.[60] නමුත් හිම වලසුන් අතර Trichinella නම් පරපෝෂී වටපණු ආසාදනය බහුලව දක්නට ලැබේ.[61] මෙම ආසාදන තත්වය මාරක නොවේ.[60] ජලභීතිකාව සහිත හිම වලසුන් වාර්තාවීම ඉතා දුර්ලභය. ඉතිහාසය පුරාවට ජලභීතිකාව සහිත හිම වලසුන් වාර්තාවී ඇත්තේ එක් වරක් පමණි.[60] සමහර අවස්ථාවලදී හිම වලසුන්ගේ ශරීරයේ වෙසෙන මයිටාවන් හා අනෙකුත් පරපොෂින් හේතුවෙන් නොයෙකුත් සමේ රෝග තත්වද ඇති වේ.

ආයු අපේක්ෂාව

අවුරුදු 25ට වැඩි කාලයක් ආයු වැලදු හිම වලසුන් වාර්තාවීම ඉතා දුර්ලභය.[62] දැනට වාර්තාවී ඇති අයුරින් නිදැල්ලේ වෙසෙන හිම වලසකුගේ වැඩිම ආයු කාලය අවුරුදු 32 කි.[63] හිම වලසුන් මියයාමට නිශ්චිත හේතුන් තවමත් සොයාගෙන නොමැත.[60] මහළු හිම වලසුන් ක්‍රමයෙන් දුර්වල වෙත්ම ඔවුන්ට ආහාර දඩයම් කිරීමට නොහැකිවීම නිසා සාගින්නෙන් මිය යති. එමෙන්ම ගැටුම් හා අනතුරුවල ප්‍රථිපලයක් ලෙස ඇතිවන තුවාල නිසාද හිම වලසුන් මිය යති.[60]

හිම වලසුන් දඩයම් කිරීම

ස්වදේශීය ජාතිකයන්

දඩයම් කරන ලද හිම වලසුන්ගේ සම්

ආක්ටික් ප්‍රදේශයේ වෙසෙන ස්වදේශීය ජනතාව හිම වලසුන් දඩයම් කර ඔවුන්ගේ ශරීරයේ සෑම කොටසක් පාහේ ප්‍රයෝජනයට ගනිති..[64] හිම වලසුන් දඩයම් කිරීමේදී මිනිසුන් සුනඛයන් යොදාගෙන හිම වලසුන්ගේ අවදානය වෙනතකට යොමුකර හෙල්ල හෝ ඊතල උපයෝගී කරගෙන ඔවුන් මරාදමති..[65] ස්වදේශිකයින් හිම වලසාගේ මාංශ ආහාරයට ගන්නා අතර ලොම් භාවිතාකර ඇදුම් පැළදුම් හා සපත්තු සාදාගනිති. හිම වලසුන්ගේ තෙල් මන්ද ආහාර පිසීමේදී හා ඉන්ධනයක් ලෙසද ගෙදරදොර භාවිතයට ගනී. මීට අමතරව ඔවුන්ගේ කන්ඩරා ඇදුම් මැසීමේදී නුල් ලෙස භාවිතා කරන අතර ඔවුන්ගේ පිත්තාශය හා හෘදය වස්තුව අව්වේ වෙලා කුඩු කර ඖෂධ ලෙස භාවිතා කරති. හිම වලසුන්ගේ දත් ආරක්ෂක සුර ලෙස සලකන ස්වදේශිකයන් ඒවා ගෙලෙහි පලදා ගනිති.[66] හිම වලසුන්ගේ අපතේ යන එකම කොටස අක්මාවයි. ඊට හේතුව එහි විටමින් A සාන්ද්‍රණය අධික වීම හේතුවෙන් එය විෂ සහගත වීමයි.[67] මේ නිසා දඩයක්කරුවන් හිම වලසුන්ගේ අක්මාව වල දැමීම හෝ මුහුදට විසිකිරිම සිදු කරති.[66] ස්වදේශික ජනතාවගේ මෙම සම්ප්‍රදායික දඩයම කුඩා පරිමාණයෙන් සිදුවීම හේතුවෙන් හිම වලසුන්ගේ සංගහනයට ඉන් සැලකිය යුතු බලපෑමක් එල්ල නොවේ.[68]

වෙළදාම

රුසියාවේ හිම වලසුන්ගේ ලෝම වෙළදාම 14 වන ශත වර්ෂයේදී ඇරඹිණි.[66] 16 හා 17 වන ශත වර්ෂවල යුරෝපිය-ආක්ටික් ප්‍රදේශයේ ජනගහනය වැඩිවීමත්ම සමග ගිනි අවි පරිභෝජනය හා වෙළදාම දියුණු වීමත් සමග හිම වලසුන් දඩයම් කිරීම සීග්‍රයෙන් ඉහල ගියේය.[34][69] 20 වන ශතවර්ෂය මුලදී නෝර්වීජියානු දඩයක්කරුවන් විසින් අවුරුද්දක් ඇතුලත හිම වලසුන් 300ක් පමණ දඩයම් කළහ. ඓතිහාසික දත්ත අනුව 18 වන සියවස මුලදී හිම වලසුන් 400-500 ක් පමණ උතුරු යුරෝපිය-ආසියානු ප්‍රදේශයේ වාර්ෂිකව දඩයමට ලක්වන ලදී. නමුත් 20 වන ශතවර්ෂය මුල් භාගය වන විට කාර්මික හා තාක්ෂණික දියුණුවත් සමග හිම මත පදවන යානා (snowmobiles), අයිස් කඩන යන්ත්‍ර (icebreakers) හා ගුවන්යානා උපයෝගී කරගෙන දඩයම් කිරීම සිදුකරනු ලැබිය. මේ නිසා 20 වන ශතවර්ෂය මුල් භාගය වන විට හිම වලසුන් දඩයම් කිරීම වාර්ෂිකව 1300-1500 ක් වන තුරු ඉහල යන ලදී.[66]

නුතන රෙගුලාසි

හිම වලසුන් මාර්ගය අසල ගැවසෙන බවට අනතුරු අගවන මාර්ග සංඥාවක්.

හිම වලසුන් වදවීයාම වලක්විමටත් හිම වලසුන්ගේ මතු උන්නතිය සදහාත් 1950 දශකයේ මැද භාගයේදී විවිධ රටවල් විසින් හිම වලසුන් දඩයම සිමා කිරීමට විවිධ විධිවිධාන හා රෙගුලාසි ක්‍රියාත්මක කරන ලදී. 1956 වර්ෂයේදී සෝවියට් රාජ්‍යය විසින් හිම වලසුන් දඩයම තහනම් කරන ලදී. කැනඩාව හිම වලසුන් දඩයම සිමා කිරීමට 1968 වර්ෂයේදී කොටා ක්‍රමයක් ගෙන එන ලදී. නොර්වේ රාජ්‍යයද 1973 වර්ෂයේ සිට හිම වලසුන් දඩයම තහනම් කලේය. ඇමරිකා එක්සත් ජනපදය 1971 වර්ෂයේදී හිම වලසුන් දඩයම සිමා කරන ලද අතර, 1972 වර්ෂයේදී මුහුදු ක්ෂීරපායි සංරක්ෂණය පනත ක්‍රියාත්මක කරන ලදී. 1973 වර්ෂයේදී හිම වලසුන් සංරක්ෂණය පිළිබද අන්තර්ජාතික සම්මුතියට කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් රාජ්‍යය, නොර්වේ රාජ්‍යය හා ඩෙන්මාර්කය යන රටවල් පහ අත්සන් තබන ලදී. මෙම සම්මුතියට අනුව ක්‍රීඩාවට හෝ වාණිජ අරමුණුවලට හිම වලසුන් දඩයම සපුරා තහනම් වේ. එනමුදු මෙම ගිවිසුමට අනුව ස්වදේශීය ජනතාවට සම්ප්‍රදායික ලෙස හිම වලසුන් දඩයමේ යෙදීමට අවසර ඇත. මෙම රටවල් පහ අතුරින් නොර්වේ රාජ්‍යය පමණක් කිසිදු හේතුවක් උදෙසාවත් හිම වලසුන් දඩයම් කිරීමට නොදෙයි.

සංරක්ෂණය

මෙම සිතියම මගින් ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණය අනුමාන කරන පරිදී 2001 සිට 2010 හා 2041 සිට 2050 දක්වා වර්ෂයන් තුල හිම වලසුන්ගේ සංගහනය පෙන්නුම් කරයි.

2008 වර්ෂයේදී ස්වභාවික සම්පත් සංරක්ෂණය පිළිබද ජාත්‍යන්තර සංගමයේ වාර්තාවලට අනුව ලෝක හිම වලසුන් සංගහනය 20000-25000 ක් පමණ වෙන අතර මෙම අගය ක්‍රමයෙන් පිරිහියමින් පවතී.[22] 2006 වර්ෂයේදී ස්වභාවික සම්පත් සංරක්ෂණය පිළිබද ජාත්‍යන්තර සංගමය මගින් හිම වලසුන් "අවම අවදානමක් පවතින" (LC) සත්ව විශේෂයක සිට "අන්තරාවට ලක්විය හැකි" (VU) සත්ව විශේෂයකට උසස් කරන ලදී.[70] ඔවුන් අනුමාන කරන පරිදී ඊලග පරම්පරා 3ක කාලය ඇතුලත (වසර 45ක් තුල) හිම වලසුන් සංගහනය 30% කින් පහල යා හැක.[7] මීට ප්‍රධානතම හේතුව කාලගුණික විපර්යාසයන් ය. මීට අමතරව පරිසර දුෂණය හා හිම වලසුන් අධික ලෙස දඩයම් කිරීමද ඔවුන්ගේ සංගහනය පිරිහීමට හේතුවී ඇත. ලෝක වනජීවී අරමුදලට අනුව හිම වලසුන් ආක්ටික් පරිසර පද්ධතියේ ජීව ගුණය මැනීමට දර්ශකයක් ලෙස භාවිතා කරයි. හිම වලසුන් සංගහනය අඩුවීමෙන් පිළිබිඹු වන්නේ ආක්ටික් පරිසර පද්ධතියේ විපර්යාසයන් ඇතිවී බවයි.[71]

දේශගුණික විපර්යාස

ස්වභාවික සම්පත් සංරක්ෂණය පිළිබද ජාත්‍යන්තර සංගමය, ආක්ටික් දේශගුණික විපර්යාස ඇගයුම, ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණය හා හිම වලසුන් පිළිබද අධ්‍යයනයෙහි යෙදෙන ලෝක ප්‍රමුඛ ජීව විද්‍යඥයින් පවසන අන්දමට ගෝලීය උණුසුම සමග ඇතිවන දේශගුණික විපර්යාස හිම වලසුන්ගේ පැවැත්මට බරපතල තර්ජනයක් එල්ල කරයි.[21][72][73][74][75][76]

දේශගුණික විපර්යාස නිසා ඇතිවන මුලික තර්ජනය නම් හිම වලසුන්ට ඔවුන්ගේ වාසභූමි අහිමිවීමයි. ගෝලීය උණුසුම ඉහලයාමත් සමග උත්තර ධ්‍රැවයෙහි අයිස් දියවෙමින් පවතී. සාමාන්‍යයෙන් හිම වලසුන් වැඩිපුරම දඩයම් කරන්නේ අයිස් තට්ටු, මුහුදු ජලය හා සම්බන්ධ වන ස්ථානවලය. උෂ්ණත්වය ඉහලයාම නිසා අයිස් තට්ටු වෙනදාට වඩා ඉක්මණින් දියවේ. මේ නිසා හිම වලසුන්ට වැඩි කාලයක් දඩයම් කිරීමට නොහැකිවේ. එවිට සීත කාලයට සැහෙන මේද තැන්පතු නොමැති වීමෙන් හිම වලසුන් සාගින්නෙන් හා මන්ද පෝෂණයෙන් පෙළෙති.[77] එසේම අයිස් තට්ටු දියවීමෙන් හිම වලසුන්ට බොහෝ දුර පිහිනීමට සිදුවේ. එවිට ඔවුන්ගේ ආහාර තැන්පතු අනවශ්‍ය ලෙස වැයවීමක් සිදුවේ. මේ නිසා සමහර අවස්ථාවලදී හිම වලසුන් දියේ ගිලි මියයාමට හැක.[78] නිසි පෝෂණය නොලැබීමෙන් හිම වැලහින්නියන්ගේ ප්‍රජනක හැකියාව අඩුවන අතර පැටවුන්ගේ මරණ අනුපාතයද ඉහල යයි.[21]

සීල් මත්ස්‍යයින් දඩයමට නිසි කාලවේලාවක් නොලැබීමෙන් මාතෘ වැලහින්නියන් හා පැටවුන් මන්දපෝෂණයට ලක් වේ.

උණුසුම් දේශගුණය නිසා මාතෘ වැලහින්නියන් ගුහා සැදීමේදී අපහසුතාවයන්ට ලක්වේ.>[18] උණුසුම් සීත ඍතු හේතුවෙන් භූගත ගුහාවන් දියවීයාමෙන් ඒවායේ තාප පරිවාරකතාව අඩුවේ.[21] මීට අමතරව උණුසුම් දේශගුණය හේතුවෙන් රෝගාබාධ ඇති කරන බැක්ටීරියා හා පරපෝෂී ජිවින්ගේ ව්‍යාප්තිය වැඩිවේ.[43]

පසුගිය වසර කීපය තුල ආක්ටික් දේශගුණික විපර්යාස හේතුවෙන් සාගින්නෙන් පෙලෙන හිම වලසුන් මිනිස් ජනාවාස කරා ඇදෙමින් පවතී. මේ නිසා පසුගිය වසර කීපය තුල හිම වලසුන් හා මිනිසුන් අතර වාර්තාවන ඝට්ටන සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩිවී ඇත.[72][79]

පසුගිය දශකය තුල ආක්ටික් දේශගුණික විපර්යාසයන් අධික ලෙසම බලපා ඇත්තේ දකුණු දිග වෙසෙන හිම වලසුන් සංගහනයටය. මේ හේතුව නිසා දකුණු දිග වෙසෙන හිම වලසුන් සංගහනය සීග්‍රයෙන් අඩුවෙමින් පවතී. [76]

ගෝලීය උණුසුම නස බටහිර හඩ්සන් බොක්ක ආශ්‍රිතව පසුගිය අවුරුදු 30 ට වඩා සති 3ක් වේලාසනින් ග්‍රීෂ්ම ඍතුවේදී අයිස් කුට්ටි දියවන බව වාර්තා වේ.[80] මේ නිසා හිම වලසුන්ට ග්‍රීෂ්ම ඍතුවට සුදානම් වීම සදහා නිසි ලෙස ආහාර ලබාගැනීමට කාලවේලා මදිවේ. එහෙයින් හිම වලසුන්ගේ කායික සෞඛ්‍යය පිරිහෙමින් පවතී. 1980 දශකයේ හිම වැලහින්නියකගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 230 ක් (රාත්තල් 510) ලෙස වාර්තාවේ..[80] 1987 සිට 2004 වන විට හඩ්සන් බොක්ක ආශ්‍රිතව හිම වලසුන් සංගහනය 22% කින් අඩුවී ඇත.[81]

පරිසර දුෂණය

ආහාර දාමවල ඉහලින් සිටින විලෝපිකයකු වන හිම වලසුන්ගේ දේහවල අප්‍රතිවර්ති කාබනික දුෂක වන policholorinated biphenyl(PCBs) හා ක්ලෝරීන් අඩංගු කෘමිනාශක සාන්ද්‍රණය ඉහල යමින් පවතී. මෙම රසායනික ද්‍රව්‍ය සාන්ද්‍රණය ඉහල යාමේ ප්‍රථිපලයක් ලෙස අංගවිකල පැටවුන් බිහිවීම හා ප්‍රතිශක්ති පද්ධතියේ ඌනතාවයන් ඇතිවේ.[82] PCB හා DDT වැනි විෂ රසායනික ද්‍රව්‍ය ජාත්‍යන්තරව තහනම් කිරීමත් සමග, මෑත කාලය වන විට හිම වලසුන්ගේ දේහවල මෙකී විෂ සාන්ද්‍රණයන් පහල යමින් පවතියි.

තෙල් කාන්දු වීම්

ආක්ටික් පෙදෙසෙහි ඇතිවන තෙල් කාන්දු වීම් හිම වලසුන්ගේ ජීවිතවලට තර්ජන එල්ල කරයි. මෙම තෙල් ලෝම සමග බැදීමෙන් ලෝමවල තාප පරිවාරක බාවය පිරිහී යයි. මේ හේතුවෙන් හිම වලසුන්ට තම සිරුරේ උණුසුම රැකගැනීමට නොහැකිව ඔවුන් මරණයට පත්විය හැක.[47] එසේම ඔවුන්ගේ ලොම්වල තෙල් තට්ටු ඉවත්කිරීමට ලෙව කෑමෙන් හිම වලසුන්ගේ වකුගඩු හානි වීමෙන්ද ඔවුන් මිය ය හැක.[47] මීට අමතරව තෙල් කාන්දුවීමේ අතුරු ප්‍රථිපලයක් ලෙස කාන්දු වූ තෙල් අවට වෙසෙන මාතෘ හිම වැලහින්නියන් තම පැටවුන්ද අනාථ කර ගුහා අත්හැර දමති.[7]

පුරෝකථන

ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණය පවසන පරිදී 2050 වර්ෂය වන විට ලෝකයේ වෙසෙන හිම වලසුන් සන්ගහනයෙන් 3 න් 2 ක් වදවී යාමේ හැකියාවක් පවතියි.[43] සමහර විද්වතුන් පවසන්නේ හිම වලසුන් හිම වලසුන් ගෝලීය උණුසුමට හා දේශගුණික විපර්යාස වලට ක්‍රමයෙන් හැඩ ගැසිය හැකි බව ය.[83] [26] නමුත් සමහර විද්වතුන් මෙම අදහස ප්‍රතික්ෂේප කරති.[26]

අන්තරායට ලක්වූ විශේෂ පිළිබද ඇමරිකානු ප්‍රඤප්තිය

2008 වර්ෂයේ මැයි මස 14 වන දින ඇමරිකානු දේශීය කටයුතු පිළිබද දෙපාර්තමෙන්තුව මගින් හිම වලසුන් අන්තරායට ලක්වූ ජීවි විශේෂයක් ලෙස ලැයිස්තු ගත කරන ලදී.[84] මීට අමතරව මුහුදු ක්ෂීරපායි සංරක්ෂණ පනතෙහි විධිවිධාන අනුගමනය නොකරන තෙල් හා ගැස් ගවේෂණ සමාගම් සමාගම් තහනම් කිරීමටත් ඇමරිකානු දේශීය කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. එසේම කැනඩාවේ සිට හිම වලසුන්ගේ සත්ව කොටස් ගෙන ඒම තහනම් කරන ලදී.[85]

අන්තරායට ලක්වූ විශේෂ පිළිබද කැනේඩියානු ප්‍රඤප්තිය

කැනේඩියානු අන්තරායට ලක්වූ ජීවින් පිළිබද කමිටුව නිර්දේශ කල පරිදී 2008 වර්ෂයේ අප්‍රේල් මස හිම වලසුන් විශේෂ සැලකිල්ලට භාජනය වන ජීවි විශේෂයක් ලෙස අන්තරායට ලක්වූ ජීවින් පනතේ ලැයිස්තු ගත කෙරිණි.

සංස්කෘතික බලපෑම්

මෙය චුක්චි ගෝත්‍රික කැටයම් කරුවන් විසින් මුහුදු ඇතෙකුගේ දළයක් මත සිදු කරනු ලැබූ කැටයමකි. මෙම කැටයමෙන් හිම වලසුන් මුහුදු ඇතුන් දඩයම් කිරීම නිරුපනය කරයි.

ස්වදේශික ජනප්‍රවාද

ස්වදේශික ජනතාවට හිම වලසුන් සංස්කෘතික හා භෞතික වටිනාකමකින් යුතු සත්ව කොට්ඨාශයකි.[64][66] වසර 2500-3000 ක් පමණ ඉපැරණි ආදී වාසීන් විසින් දඩයම් කල හිම වලසුන්ගේ නෂ්ටාවශේෂ මෙන්ම,[68] වසර 1500 ක් පමණ පැරණි හිම වලසුන්ගේ සිතුවම් චුක්චි අර්ධද්වීපයේ ගුහා වලින් හමු වී ඇත.[66] ස්වදේශිකයින් සීල් මත්ස්‍යයින් දඩයම් කිරීමේ කුසලතාවයද, ඉග්ලු සැදීමටද ඉගෙන ගෙන ඇත්තේ හිම වලසුන්ගේ චර්යාවන් නිරීක්ෂණයෙන් බවට විශ්වාස කෙරේ.[66]

ස්වදේශික ගෝත්‍රිකයන් වන ඉනුඉට් (Inuit) හා එස්කිමෝවරුන් (Eskimo) අතර හිම වලසුන් සම්බන්ධයෙන් නොයෙකුත් ජනප්‍රවාද පවතී. හිම වලසුන් මිනිසුන් ලෙස නිවෙස්වල වෙසෙන අතර රාත්‍රියේදී ඔවුන් සම් පොරවාගෙන නිවෙස්වලින් බැහැර වන බවට හා මහ වලසා තරු රටාව සුනඛයන්ගෙන් වටවීමට හේතුව වැනි විවිධ ජනප්‍රවාද ස්වදේශික ජනතාව අතර පවතී.[65] මෙම ජනප්‍රවාද මගින් ස්වදේශික ජනතාව හිම වලසුන් කෙරෙහි දක්වන බුහුමන හා ඔවුන්ගේ ජිවිත සමග හිම වලසුන්ගේ කිට්ටු සබදතාව මැනවින් පිලිඹිබු වේ.[65] හිම වලසුන් හිදගෙන හා සිටගෙන සිටින අවස්ථාවන්හී ඔවුන්ගේ ඉරියව් මිනිසාට ඉතා සමීපවන බැවින් හා සම ඉවත් කරන ලද හිම වලස් මළකුණු මිනිස් සිරුරට ඉතා සමාන වන බැවින්, මිනිසුන් හා හිම වලසුන් අතර ආත්මීය සබදතාවක් පවතින බව ස්වදේශිකයන් විශ්වාස කරති.[65] එස්කිමෝවරුන්ගේ පුරාවෘත්තවලට අනුව හිම වලසුන් නිරීක්ෂණයෙන් මිනිසුන් දඩයම් කිරීමට හුරුවිණි. ඉනුඉට් ගෝත්‍රික ජනතාව හිම වලසුන් ටුඋරන්ගසුක් (Tuurngasuk) නම් මහා ආත්මයක් ලෙස අදහති.[86]

නැගෙනහිර සයිබිරියාවේ වෙසෙන චුක්චි (Chukchi) හා යුපික් (Yupik) ජනතාව දඩයම් කරන ලද හිම වලසුන්ට ස්තුතිය පුදකිරීමේ චාරිත්‍ර ක්‍රමයන් අනුගමනය කරති. ස්වදේශිකයන් හිම වලසෙකු දඩයම් කිරීමෙන් පසු හිස හා සම ඉවත් කර, පිරිසිදු කර ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යති. එහිදී ඔවුන්ගේ කුඩාරම් තුල සාදයක් පවත්වා හිම වලසාගේ ආත්මය සතුටු කිරීමට ඔවුන් සම්ප්‍රදායික ගීතිකා හා බෙර වාදන පවත්වන අතර, හිම වලසාගේ හිස් කබලට ආහාර පන පිරිනමති.[87] ඉන්පසු ඔවුන් හිම වලසාගේ හිස් කබල ශරීරයෙන් වෙන් කොට එය තම වාසස්ථානවලට එපිට භුමියේ උතුරු දෙසට මුහුණලා පවතින් පරිදි වලදමති.[66] මෙම චාරිත්‍ර වර්තමානයේ ක්‍රමයෙන් පිරිහෙමින් පවතී. මීට එක් හේතුවක් වන්නේ සෝවියට් රාජ්‍යය 1955 වර්ෂයේ සිට හිම වලසුන් දඩයම තහනම් කිරීමය.

උතුරුමැද සයිබීරියාවේ නෙනට්ස් (Nenats) ගෝත්‍රිකයන් හිම වලසුන්ගේ රදනක දත්වල අත්භූත බලයක් ඇති බවට පිළිගන්නා අතර ඔවුන් ඒවා ආරක්ෂක සුර ලෙස ගෙලෙහි පැළදීමට උපයෝගී කර ගනිති. තවද මෙම දත් පහල යන්සෙයි (Yansei) හා කාටන්ගා (Khatanga) ගංගා අසල වනගත මිනිසුන් දුඹුරු වලසුන්ගෙන් ආරක්ෂා වීමට තම හිස්වැසුම්වල පලදිති. ඔවුන්ගේ විශ්වාසය වුයේ මෙම දත් පැලදීමෙන් "කුඩා ඤාති පුත්‍රයින්" (දුඹුරු වලසුන්) ඔවුන්ගේ ශක්තිමත් "මාමාවරුන්"(හිම වලසුන්) හට පහරදීමෙන් වලකිනු ඇති බවය. තවද හිම වලසුන්ගේ හිස් කබල් භූමිදාන කරන ස්ථාන සේද්යන්ගි (sedyangi) නමින් හැදින්වූ අතර මෙම ස්ථාන පුජාභූමි ලෙස සැලකුහ. මෙවැනි ස්ථාන අදත් යමල් අර්ධද්වීපයේ දක්නට ලැබේ.[66]

සංකේත හා සුරතලුන්

හිම වලසුන් ඔවුන් ජිවත් වන නිජබිම් ආශ්‍රිත රටවල ප්‍රචලිත සංකේතයකි. කැනඩාවේ ටුණි (Toonie) නම් කාසියකද, ඊසානදිග ප්‍රදේශ හා නුනවට්හී (Nunavut) වාහන අංක පුවරු වලද, හිම වලසුන්ගේ රුපය දක්නට ඇත. තවද හිම වලසා ඇලස්කා ෆෙයාර් බැන්ක්ස් විශ්වවිද්‍යාලයේ හා 1988 වර්ෂයේ ශිත ඔලිම්පික් උළෙලෙහි සුරතල් සත්වයා වශයෙන් භාවිතා කර ඇත.

කොකා කෝලා සමාගම, Polar බිම සමාගම, Nelvana, Bundaberg Rum හෝ Good Humor-Breyers යන ආයතන හිම වලසා තම වෙළද දැන්වීම්වල භාවිතා කර ඇත.[88] මේ අතර Fox's Glacier Mints සමගම පෙපි නම් හිම වලසෙකු තම නිෂ්පාදන නිරුපනය කරන සුරතල් සත්වයා ලෙස 1922 සිට භාවිතා කර ඇත.

සාහිත්‍ය

හිම වලසුන් ළමුන් උදෙසා ලියු නව කතාවල චරිත ලෙස යොදා ගෙන ඇත. "පොලර් බේයර් සුන්" නවකතාව උපුටාගෙන ඇත්තේ ඉනුඉට් ජනප්‍රබන්ධයකිනි.[89] එසේම ඊඩිත් පට්ටෞ ගේ "ප්රෝමිනන්ටලී ඉන් ඊස්ට්" නව කතාවේද, රේමන්ඩ් බ්‍රිග්ස් ගේ "ද බෙඅර්" කතාවේද, ක්‍රිස් ද ලීසි ගේ "ද ෆෙයරි විත්ඉන්" නව කතාවද හිම වලසුන් උපයෝගී කරගත් අවස්ථාවලට කදිම නිදසුන් වේ. ෆිපිල්ප් පුල්මන්ගේ ප්‍රබන්දවලියක් වූ, "හිස් ඩාර්ක් මෙටිරියල්" හී "පන්සර්බියෝවී" චරිතය මිනිස් ගති ගුණවලින් පිරි හිම වලස් චරිත වලට නිදසුනකි. මෙම චරිතය "ගෝල්ඩන් කොම්පස්" චිත්‍රපටයට පාදක වී ඇත.

අදාල

අදාල පොත්

බාහිර සබැදි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=හිම_වලසා&oldid=659255" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි